අල් හුසේන් කුමරු දිවයිනෙන් පිටත්ව යයි

අල් හුසේන් කුමරු දිවයිනෙන් පිටත්ව යයි

February 10, 2016   09:06 am




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද(10) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

සිව්දින නිළ සංචාරයක් සඳහා ඔහු  පසුගිය 06 වෙනිදා දිවයිනට පැමිණියේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා රජය සිදුකරන ලද  ආරාධනයක් පිළිගනිමින් මහ කොමසාරිස්වරයා දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

සංචාරය අතරතුරදී හුසේන් කුමරු ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්විය.

මීට අමතරව ආරක්ෂක ප්‍රධානීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිළධාරීන් සමඟද මහකොමසාරිස්වරයා සාකච්ඡා පවත්වා තිබේ.

අදාළ සංචාරය අතරතුරදී ඔහු යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක  සංචාරය කර ඇත.

සිය සංචාරය අවසන් කරමින් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෙයිද් රාද් අල් හුසේන් කුමරු පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අරමුණ මානව හිමිකම් කඩවීම් ගැන පරීක්ෂණ සිදුකිරීම මිස අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම නොවන බවයි.

එමෙන්ම දෙමුහුන් අධිකරණයක අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ස්වාධීන අධිකරණයක් මගින් විපතට පත්වූ සෑම පාර්ශවයකටම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් බව ඔහු එහිදී ප්‍රකාශකර තිබේ.