හිටපු අමාත්‍යවරු තවමත් නිල නිවාස බාර දී නෑ

හිටපු අමාත්‍යවරු තවමත් නිල නිවාස බාර දී නෑ

February 7, 2016   01:23 pm




කැබිනට් අමාත්‍යධූර දරණ සමය තුළ ලබා දී තිබු නිල නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් තවමත් රජය වෙත භාර දී නොමැති බව දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

අමාත්‍ය ධුර අහිමි වී වසරකට වැඩි කාලයක් ගත වුව ද ඔවුන් තවමත් එම රජයේ නිල නිවාසවල රැඳී සිටින බව නිවේදනයක් නිකුත් කරමින් දූෂණ විරෝධී පෙරමුණ පෙන්වා දී තිබේ.

රජය විසින් ලබා දී තිබු නිල වාහන ද ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් භාර දි නොමැති බව සඳහන්ය.

මෙම තත්ත්වය රජයේ මූල්‍ය හා පරිපාලන රෙගුලාසී උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන දූෂණ විරෝධී පෙරමුණ ඊට එරෙහිව  නීතිමය පියවර ගත හැකි බව පෙන්වා දෙයි.

දූෂණ විරෝධී පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දක්වයි.

කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් මාස 13 කට වැඩි කාලයකට පසුව ද කැබිනට් අමාත්‍යවරුන් තවමත් රජයේ නිල නිවාස වල රැදී සිටිති. 

පසුගිය රජය සමයේද, ඉන් පසුව දින 100 වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලසීමාව තුළද, 19 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබා ගැනීම සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට රජයේ වාහන ලබාදුන් අතර ඒවායින් කොටසක්ද මේ දක්වාම නිසි පරිදි රජයට බාර දී නොමැත. 

මෙය රජයේ මුල්‍ය හා පරිපාලන රෙගුලාසි උල්ලංඝණය කිරීමකි.

මැතිවරණ සමයේ පමණක් නොව ඉන් පරිබාහිර කාල සීමාව තුළද විශාල වශයෙන් මහජන දේපළ අයථා පරිහරණයට මහජන නියෝජිතයින් පෙළඹී සිටී. 

ඒ සදහා රාජ්‍ය බලයේ සිටින දේශපාලනඥයින්ගේ ද, රාජ්‍ය නිලධාරීන්ගේද සහාය සහ අනුග්‍ර‍හය බොහෝ අවස්ථාවන් හිදී හිමිව තිබේ.  

රජයේ අමත්‍ය ධූර අහිමිවීමෙන් වසරකට වැඩි කාලයක්ද, පාර්ලිමේන්තු මැතිවරණයකින් මාස 4 කට වැඩි කාලයකට පසුවද තවමත් රජයේ නිල නිවාසවල බලහත්කාරයෙන් රැදී සිටින, මන්ත්‍රීවරුන් ගණානවකි. 

රාජ්‍ය නිලධාරීන් වෙත චක්‍රලේඛන මගින් හිමිවන නිල නිවාස,වාහන හිමිකමින් පරිබාහිරව කටයුතු කිරීම පැහැදිලි ලෙසම මහජන දේපළ අයථා පරිහරණයක් වන අතර එයට නීති මගින් කටයුතු කළ හැකි ය.

විධ්වත් ප්‍ර‍තිපාදනයන්ගෙන් පරිබාහිරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නා බවට අවස්ථා ගණනාවක දී ප්‍ර‍කාශයට පත් වී ඇති නමුත් එම වාහන භාවිතය තවමත් සිදු වෙමින් තිබේ.

අදාළ වාහන අංක ලේඛණයක් මෙයට මාස කිහිපයකට පෙර සකස් කරනු ලැබූ නමුත් මේ දක්වාම එම වාහන අත් අඩංගුවට ගැනීමක් සිදුවී නොමැත.