කොතලාවල මියගේ ප්‍රකාශයක් ගන්න අතිරේක මහේස්ත්‍රාත් රෝහලට ගිහින්

කොතලාවල මියගේ ප්‍රකාශයක් ගන්න අතිරේක මහේස්ත්‍රාත් රෝහලට ගිහින්

February 5, 2016   08:01 pm

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ වන සිසිල් ප්‍රියංකාමනී කොතලාවල මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත්,අතිරේක දිසා විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද(05) අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබේ.

ගෝල්ඩන් කී මූල්‍ය වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිසිල් කොතලාවල මහත්මිය දිගු කාලයක් විදේශ ගතව සිට පසුගියදා ලංකාවට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැණුනු අතර ඇය පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලට පැමිණ ඇයව පරීක්ෂා කොට  බලා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලා සිටියද  මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ නම් පමණක් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණිය හැකි බවත්, රජයේ රෝහලකට ඇතුළත් නොවී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන්නේ කුමන හේතුවක් නිසාද යන්න තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් කොතලාවල මහත්මියට ඇති වෙනත් නඩු 2ට අදාළව කොළඹ කොටුව ‍මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අදාළ පෞද්ගලික රෝහල වෙත පැමිණ ප්‍රකාශයක් ලබා ගත් බව අධිකරණ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.