අහිංසකයින් ඇල්ලූ කොටදෙණියාව ඕ.අයි.සී ඇතුළු 6ට වැඩවරදියි
January 21, 2016 07:09 pm
කොටදෙණියාව පොලිස් වසමේ දැරිය ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පැසැල් ශිෂ්‍යයා හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරින්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙම ඝාතන සිද්ධියට අදාළව කොටදෙණියාව පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් පාසැල් ශිෂ්‍යා හා අනෙක් තැනැත්තා පසුව අධිකරණය මගින් මුදා හරින ලදි.
ඉන් අනතුරුව කොටදෙණියාව පොලිස් ස්ථානයේ නිළධාරින් කිහිපදෙනෙකුට විරුද්ධව එම දෙදෙනා විසින් පොලිස්පතිතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝගය මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්ෂණය යටතේ පරීක්ෂණයක් සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.
එම පරීක්ෂණයේදි අනාවරණය වු කරුණු අනුව පහත සදහන් නිළධාරින්ට පහත පරිදි විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 02 ක කාලයක් නිත්‍යානුකුල නොවන ලෙස කොටදෙණියාව පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනීම හා සැකකරුවන් දෙදෙනාගේ දේපළ අස්ථානගත වීම ඔවුන්ට එරෙහි චෝදනාවන්ය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වගකිවයුතු කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකුට චෝදනා පත්‍ර නිකුත් කර ඇති බව නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.