වික්‍රමයන්ගෙන් පිරුණු වික්‍රමාධිත්‍ය  කොළඹ ඇවිත්

වික්‍රමයන්ගෙන් පිරුණු වික්‍රමාධිත්‍ය කොළඹ ඇවිත්

January 21, 2016   04:50 pm



ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන “වික්‍රමාධිත්‍ය“නෞකාවත් “ මයිසූර්“ නැමැති නෞකාවත් කොළඹ වරායට පැමිණ තිබේ.

දෙරටේ සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් රැසකට සහභාගී වීම සඳහා එම නෞකා අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් එම නෞකා තුළදී පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ නෞකා අභ්‍යාසයක් ද සිදුකිරීමට නියමිතය.

මීට අමතරව එම නෞකාවලින් පැමිණි ඉන්දීය නාවිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

 ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන “වික්‍රමාධිත්‍ය“ නෞකාව මීටර් 284ක දිගින් සහ මීටර් 60ක පළලින් යුක්ත වන අතර මහල් 22කින් සමන්විත නෞකාවේ ප්‍රහාරක ගුවන් යානා 36ක් ප්‍රවාහනය කර ගුවන්ගත කිරීමේ හැකියාව පවතින බව සඳහන්ය.



ඡායා රූ - අන්තර්ජාලය ඇසුරිණි