2030 ශ්‍රී ලංකා සිතියමේ නිර්මාණකරුවන් ආයෝජකයින්
January 21, 2016 03:44 pm
ශ්‍රී ලංකාව වසර දහස් ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්‍රය ලෙස කීර්තියක් දිනා සිටි බවත්, යළිත් ඒ අතීත ශ්‍රී විභූතිය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා රජය විසින් විධිමත් හා ක්‍රමවත් ආර්ථික සැකසුමක් දියත් කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අවධාරණය කරයි.
ස්ව්ට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැති ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
ශ්‍රී ලංකාව වසර දහස් ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්‍රය ලෙස කීර්තියක් දිනා සිටි බවත්, යළිත් ඒ අතීත ශ්‍රී විභූතිය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා රජය විසින් විධිමත් හා ක්‍රමවත් ආර්ථික සැකසුමක් දියත් කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අවධාරණය කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ස්ව්ට්සර්ලන්තයේ ඩාවොස් නගරයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැති ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමිනි.
ස්විස් - ආසියා වෙළඳ මණ්ඩලය සහ ලංකා වෙළඳ මණ්ඩලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජාත්‍යන්තර සහ ලාංකේය නියෝජිතයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ඩවොස් නගරයේ මොරොසනි පෝසට් හෝටලයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ 2030 වසර වෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථික සිතියම නිර්මාණය කිරීමේ කාර්ය භාරය සැබැවින්ම පැවරෙන්නේ ආයෝජකයන් වෙත බවය. ඒ දීප්තිමත් සිතියම නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබා දෙන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ප්රජාතන්ත්රවාදය හා යහපානය ශක්තිමත් කරමින් දැවැන්ත ආර්ථික පිම්මක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයෝ ප්‍රසාදය පළ කරමින් අදහස් දැක්වූහ.
යුරෝපීය, චීන, ජපාන ආදී රටවල් නියෝජනය කරමින් පැමිණි ආයෝජකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වාසිය ඉතා වැදගත් වන අතර, ශ්‍රී ලංකාවේ පුහුණු සේවක සේවිකාවන්ගේ ගුණාත්මක භාවය ද ඉතා ඉහළ මට්ටමක පවතින බවය.
ශ්‍රී ලංකාව සමග පවතින ආර්ථික සබඳතා පිළිබඳව රටවල් කිහිපයක නියෝජිතයන් සුභවාදී ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකාව තුළ තවදුරටත් ආයෝජන අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියහ. මේ නිසා ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථාවන් පිළිබඳව තමන් දැඩි අවධානයකින් සහ උනන්දුවකින් පසුවන බව ද ඇතැම් නියෝජිතයෝ පැවසූහ.
ශ්‍රී ලංකාව තුළ ආයෝජන දිරිගැන්වීම සඳහා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී අනාවරණය කළේය. ආයෝජන මණ්ඩලය සහ ආර්ථික සංවර්ධන මණ්ඩලය වෙනුවට සංවර්ධන ඒජන්සියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව අගමැතිවරයා පැවසීය.
එක වහලක් යටින් සියලු සේවා ඉටු කර ගත හැකි ආකාරයට පිහිටුවන මෙම සංවර්ධන ඒජන්සිය හරහා ආයෝජකයන්ට ලිහිල් හා පහසු කොන්දේසි සහ රෙගුලාසි යටතේ සිය ව්‍යාපෘතිවල යෙදීමට අවකාශ සලසා දෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.
සමුළුවට සහභාගී වූ චීන ආයෝජකයෝ, අවශ්‍ය නිත්‍යානුකූල සුදුසුකම් සපුරාලීමෙන් පසුව නව කොන්දේසි යටතේ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳව කෘතඥතාව පළ කළහ.
මෙතෙක් ශ්‍රී ලංකාව වැඩි වශයෙන් චීන ආයෝජන යොදා ගනු ලැබුවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, අනාගතයේ රැකියා උත්පාදනය කරන ආයෝජන ව්‍යාපෘති සඳහා චීන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කළේය.
“වෘත්තීය නිපුණත්වය ලබා ගැනීම, නව තාක්ෂණ දැනුමෙන් ලාංකිකයන් සන්නද්ධ කිරීම, රැකියා උත්පාදනය ආදී ක්ෂේත්රයන් සංවර්ධනය කිරීම සඳහා අප ජාත්‍යන්තර ආයෝජකයන්ට ආරාධනා කරනවා. ඒ ජාත්‍යන්තර ආයෝජකයන් සමග එක්වන්නැයි චීන ආයෝජකයන්ටත් අප දන්වා සිටිනවා” යැයි අගමැතිවරයා පැවසීය.
“අපේ අරමුණ ඔබ සඳහා ලිහිල් රෙගුලාසිවලින් යුත් මිත්‍රශීලී ආයෝජන පරිසරයක් සැකසීමයි. ඒ පරිසරය සහ අවස්ථාවන් සැලසීමට අප සූදානම්. අපට අවශ්‍ය ඔබේ සහයෝගයයි” යනුයෙන් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකේය ආයෝජකයන් 150 කට අධික පිරිසක් සහභාගී වූ මෙම ආයෝජන සමුළුව ආරම්භයේ දී ශ්‍රී ලංකා ආර්ථික ප්රතිසංස්කරන සහ අපේක්ෂා පිළිබඳව කෙටි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කෙරුණු අතර, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ සාර්ථකව ආයෝජන කටයුතු සිදු කළ ජාත්‍යන්තර ආයෝජකයන් හා ලාංකේය ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ද ප්රශංසාත්මක අදහස් පළ කළ අතර, සහභාගී වූවන්ට අගමැතිතුමන්ගේ ප්‍රශ්න ඇසීමේ වාරයක් ද සංව්ධානය කර තිබිණි.
අගමැතිතුමන් සමග මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපාය මාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ද මෙහිදී නැගුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දුන්හ.
“මේ ආයෝජන සමුළුව ඉතා සාර්ථක ලෙස සංවිධානය කර තිබුණා. සමුළුවට සහභාගී වීමට ඉල්ලූම් කළ සියළු දෙනාටම අවස්ථාව ලබා දිය නොහැකි තරමට උනන්දුවක් ආයෝජකයන් තුළ තිබීම විශේෂයක්. අවස්ථාව ලැබී සමුළුවට සහභාගී වුණු ආයෝජකයන් ද ඉතාමත් ධනාත්මක ආකල්පයකින් තමයි සමුළුවෙන් පිටව ගියේ.” යැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
2016 ජනවාරි 21