බේරීම...

බේරීම...

August 10, 2018  

Bookmark and Share
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (10) දින පෙරවරු 8.30 ට පමණ වෑන් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පියෙකු සහ පුතෙකු ගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.

මාර්ගයෙන් ඉවතට විසිවූ වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් එහි ගින්නෙන් පිළිස්සෙමින් සිටි පිය පුතු දෙපළගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීහු මෙලෙස සමත් වී තිබේ.

හබරණ ප්‍රදේශයේ සිට දඹුල්ල ප්‍රදේශයට මෝටර් රථයක් ධාවනය වෙමින් තිබියදී ඊට පිටුපසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථය මෝටර් රථය ඉස්සර කරනවාත් සමඟ මෝටර් රථයේ ඉදිරිපස හැපීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබුණු කුඩා වෙළඳසැලක් ද කඩාගෙන මාර්ගයෙන් එපිට පිහිටා තිබූ වෙල්යායකට ඇද වැටී ගිනි ගන්නට වූ බව ඇසින් දුටුවෝ පවසති.

එම අවස්ථාවේදී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු ඒ අසලින් ගමන් කරමින් සිට තිබේ. පසුව ඔහු වහාම දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුවත් කිරීමෙන් පසු කඩිනමින් ගිනි නිවන ඒකකය ගෙන්වා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වෑන් රථයේ ඇතුළත සිටි පුද්ගලයන් දෙදෙනා තුවාල සහිත පිටතට ගෙන තිබේ.

මෝටර් රථයේ පැමිණි රියදුරු කියා සිටියේ අදික වේගයකින් එම වෑන් රථය පැමිණි බවත් තමන්ටද හිතාගැනීමට නොහැකි ආකාරයෙන් අනතුර සිදු වූ බවය. කෙසේ වෙතත් තමන්ට සුළු තුවාල සිදුව ද දැඩි කම්පන තත්ත්වයකින් පසුවන බවය. දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගේ මෙන්ම මෝටර් රථ රියදුරුගේ ද ප්‍රකාශ සටහන් කරගනිමින් අනතුර සිදුවී ඇති ආකාරය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. මෙම අනතුරත් සමග වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගොස් තිබිණි.

වෑන් රථයේ පැමිණ ඇත්තේ පියෙකු සහ වයස අවුරුදු 13ක පුතෙකු බවද ඔවුන් වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් ශවුන් 11 දින ඉන්දියාවේ යාම සදහා පැමිණ ඇති බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

ඡායාරූප - කාංචන ආරියදාස