බ්‍රිතාන්‍ය විදෙස් ඇමති පැමිණෙයි

බ්‍රිතාන්‍ය විදෙස් ඇමති පැමිණෙයි

January 14, 2016   09:39 am

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වායර් මහතා දිවයිනට පැමිණ තිබේ.

අද දෙරණ  ගුවන් තොටුපළ වාර්තාකරු කියා සිටියේ පෙරවරු 8.10ට පමණ ඒ මහතා දිවයිනට ළඟා වූ බවයි.

දිවයිනට පැමිණි  බ්‍රිතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා  ලබන 16 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මෙම සංචාරය තුළ දී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට  සැලසුම් කර  තිබේ.

 
ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ සාගල රත්නායක ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරු කිහිප දෙනෙකු සමඟද ස්වායර් මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර හෙට දිනයේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා  යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

 එම සංචාරය තුළදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ පැවැත්වෙන තෛපොංගල් උත්සවයටද ඔහු සහභාගී වීමට නියමිත අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට ද නියමිතය.

හියුගෝ ස්වායර් මහතා ලබන  සෙනසුරාදා දිනයේ ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයට ද සහභාගී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මීට පෙර 2015 වසරේ ජනවාරි මාසයේද හියුගෝ ස්වායර් මහතා මෙරට සංචාරයක නිරත විය.