සංචාරය...

සංචාරය...

July 12, 2018  

Bookmark and Share
නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා (Prayut Chan-O-Cha)මහතා අද සවස 2.45ට පමණ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ ඇත.

මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාපා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

මෙම තායිලන්ත දූත පිරිස හෙට(13) මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යෑමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දිවයිනට පැමිණෙන තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා මහතාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිළිගැනීමට නියමිතය.

එහිදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට ගෞරව පිණිස හමුදා උත්තමාචාර හා ආචාර වෙඩි මුර පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නිළ නිවසේදී අද රාත්‍රි ‍භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද සැළසුම් කර තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.