තහංචි දැම්මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ‍නොහැකියාව වහගන්නද?

තහංචි දැම්මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ‍නොහැකියාව වහගන්නද?

December 1, 2015   09:18 pm


විභාග කොමසාරිස් අංක 1816 ගැසට් නිවේදනයට අනුව මෙවරද සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් වාර්ෂික අභිචාරය පවත්වා ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වාදෙයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම තත්ත්වය ඉදිරියට ගෙනයාමෙන් පෙන්නුම් කරන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

විභාගයට සතියකට පෙර ප‍්‍රශ්න පත‍්‍ර සාකච්ඡා කිරීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම, උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පැවති ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන ගත් අමනෝඥ අත්තනෝමතික තීරණය වත්මන් අධ්‍යාපන ඇමතිවරයාගේ ද ආශිර්වායෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා ද කි‍්‍රයාත්මක කිරීමට විභාග කොමසාරිස්වරයා පියවර ගෙන ඇත්තේ වාර්ෂික අභිචාර කටයුත්තක් පවත්වන පරිද්දෙනි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 දින සිට දෙසැම්බර් 17 දින දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව දෙසැම්බර් 02 දින සිට දෙසැම්බර් 17 දින දක්වා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති පැවැත්වීම, ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය හා බෙදාහැරීම ආදී කටයුතු විභාග කොමසාරිස්වරයා විසින් තහනම් කර ඇත. බන්දුල ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ජාතික විභාග ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවිය. එය වැලැක්වීමට විභාග දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාපටිපාටිය ආරක්ෂාකාරී හා ශක්තිමත් කිරීම වෙනුවට ඔහු විසින් 2013.06.21 දිනැති අංක 1816 ගැසට් නිවේදනය මඟින් විභාගයට සතියකට පෙර සිට ප‍්‍රශ්න පත‍්‍ර සාකච්ඡා කිරීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම, උපකාරක පන්ති පැවැත්වීම, ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය ආදී කටයුතු තහනම් කළේය. මෙම ගැසට් නිවේදනය නිකුත් වීමත් සමගම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති ඇතුළු සමාජයේ සෑම පාර්ශවයකින්ම ඊට දැඩි විරෝධයක් එල්ල විය.

වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා යටතේ ද විභාග කොමසාරිස්වරයා 2015 අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් මෙම තහනම පැනවූයේ ඉහත ගැසට් නිවේදනයට අනුවය. 2015 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා එම ගැසට් නිවේදනය අනුව  නැවතත් මෙම තහනම පනවා ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ කාලයේ මෙන්ම තවමත් ජාතික විභාගවල විශ්වසනීයත්වය රැකෙන පරිදි විභාග කි‍්‍රයාපටිපාටිය ශක්තිමත් හා ආරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන නොමැති නිසාවෙන් ද යන සැකය මතුවේ.

විභාග අපේක්ෂකයන් විභාගවලට වඩාත් තදින්ම අවධානය යොමු කරමින් තම අධ්‍යයන කටයුතුවල නිරත වන විභාගයට ආසන්නම සතියේ මෙම සියලූ කටයුතු තහනම් කිරීම බරපතළ අසාධාරණයකි. විභාග දෙපාර්තමේන්තුවේ නොහැකියාව වසා ගැනීමට විභාග අපේක්ෂකයින්ට හිරිහැර වන මෙම කි‍්‍රයාමාර්ගය වර්තමාන රජය ද ඉදිරියට ගෙන යන්නේ වර්තමාන අධ්‍යාපන ඇමතිවරයාද හිටපු අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම අමනෝඥ අත්තනෝමතික තීරණ කි‍්‍රයාත්මක කරමින් සිටින නිසා විය හැකිය. මීට තවත් කදිම නිදසුනක් වන්නේ වත්මන් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා මේ දිනවල අධ්‍යාපන පද්ධතියේ සියලූම කටයුතු පසෙක තබා මෙතෙක් කල් ලබාදුන් නිල ඇදුම් රෙදි වෙනුවට වියදම්කාරී, නාස්තිකාරී නිල ඇදුම් රෙදි වවුචරයක් ලබාදෙමින් සිටීමයි.

විභාග දෙපාර්තමේන්තුවේ මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම කි‍්‍රයාපටිපාටියට දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටින ලංකා ගුරු සංගමය මෙවැනි අමනෝඥ කි‍්‍රයාවන් මඟින් විභාග අපේක්ෂකයන් හිරිහැරයට පත් කිරීම නවතා ජාතික විභාගවල විශ්වසනීයත්වය රැකෙන පරිදි විභාග කි‍්‍රයාපටිපාටිය ආරක්ෂිත කිරීමට ශක්තිමත් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.