විශ්‍රාම වැටුප කප්පාදු කළොත් වර්ජනයකට යනවා

විශ්‍රාම වැටුප කප්පාදු කළොත් වර්ජනයකට යනවා

December 1, 2015   04:54 pm



ආණ්ඩුවේ මංගල අයවැයෙන් රටේ සංවර්ධනයට යම් බරක් දී තිබුණද එය වැඩකරන ජනතාව අසතුටු කරන අයවැයක් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

1940 පටන් පැවති විශ්‍රාම වැටුප අහෝසි කොට දායක වැටුප් ක්‍රමයක් යෝජනා කර ඇති බවත්, මීට පෙරාතුව රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේ ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේදීත් මෙවැනි වැඩපිළිවෙළක් ගෙන ආ බව රත්නප්‍රිය මහතා කියා සිටියේ අද(01) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

අගෝස්තු 17 ට පෙරාතුව රනිල් වික්‍රමසිංහ මහතා කියා අවධාරණය කරනු ලැබුවේ ලව්ඡවි රජදරුවන්ගේ ආදර්ශය ගැන වුණත් මේ වෙද්දි අත්තනෝමතික ලෙස තනි තීන්දු රැගෙන කටයුතු කරන බව පැහැදිලි යයි රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාවට නැංවුවහොත් දැවැන්ත වැඩවර්ජනයකට යන බවත්, මෙම යෝජනා හකුළාගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මීය අමතරව මැතිවරණ සමයේදී දීමනා ලෙස ලබාදෙන ලද රු.10,000 ක මුදල මූලික වැටුපට එකතු කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ඉටුකරන බවට පොරොන්දු ලබාදුන් බවත්, එහිදී එය සැප්තැම්බර් මාසයට පෙර ඉටුකරන බව නව රජය විසින් කියා සිටි නමුත් නොවැම්බර් මාසයත් ගෙවී ඇති නමුත් තාමත් එය දක්නට නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.


මීට අමතරව අග්‍රහාර රක්ෂණය විශ්‍රාමිකයින්ට ගෙවන ලෙසද වෘත්තීය සමිති වෙනුවෙන් කරනු ලැබූ ඉල්ලීම මෙතෙක් ඉටුවී නැති බවත්, මසකට රු. 125 බැගින් කපා ගන්නා නමුත් එම මුදල් වලට සිදුවන්නේ කුමක්දැයි නොදන්නා බවත් ඔහු සිහිපත් ක‍ළේය.

ආණ්ඩුවටත් විධායකයටත් කල් ලබාදුන් නමුත් මින් ඉදිරියට එසේ කල් ලබාදීමට සූදානම් නැති බවත්, එළඹෙන 03 වන දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බවත්, 15-17 දිනවල වැඩවර්ජනයක් දියත් කරන බවත්, ගැටළු වලට විසඳුම් ලබා නොදුනහොත් එය අඛණ්ඩ වැඩවර්ඩනයක් දක්වා ව්‍යාප්ත කරන බවත් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.