රාජිතට යවන ලියුම් හංගනවා

රාජිතට යවන ලියුම් හංගනවා

December 1, 2015   04:50 pm




සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට යවන ලිපි කාර්ය මණ්ඩලයේ සිටින කෙනෙක් සඟවනවා යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

අය වැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුව ඇතැයි කියන අසාධාරණ ගැන සාකච්ඡා කිරීම සඳහා දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසීය.

අය වැයෙන් කප්පාදු කළ  වාහන පර්මිට් ඇතුළු කාරණා ගැන සාකච්ඡාවක් නොපවත්වා වෛද්‍යවරුන් වැඩවර්ජනයකට  සැරසීම සුදුසු නැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය විය.

එහිදී වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ අය වැයට කලින් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවයි.

එහෙත් අය වැයෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවත්, එසේ වුවද ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කර ඇමතිවරයාට යවන ලිපි කාර්යමණ්ඩලයේ  අයෙකු සඟවන බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

මෙවර අය වැයෙන් රාජ්‍ය සේවකයින්ට කර ඇති අසාධාරණ ඉවත් කළ යුතු බවත්, වැඩි කළ දීමනා මූලික වැටුපට එකතු කිරීම, විශ්‍රාමිකයින්ගේ අයිතිවාසිකම් කප්පාදු නොකිරීම, තීරුබදු රහිතව වාහනයක් මිලදී ගැනීමට තිබූ අයිතිය යළි තහවුරු කළ යුතු බවද ‍හෙතෙම එහිදී කියා සිටියේය.

එසේම මේ සම්බන්ධයෙන් දැනුවත් කර හෙට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු රාජ්‍ය සේවකයින්ගේ ගැටලු ගැන අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.