අරමුදල් ඒකාබද්ධ කිරීමට තාමත් අවසන් එකඟතාවක් නෑ
December 1, 2015 11:13 am
සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තාමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
එය ඒකාබද්ධ කර එකම අරමුදලක් ලෙස පවත්වාගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මීට පෙරාතුව රජයේ ආර්ථික ප්රතිපත්තිය ප්රකාශය පත්කළ අවස්ථාවේදීත්, අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් පෙන්වාදුන් බව අග්රාමාත්යවරයා කියා සිටියේ අද (01) අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
එසේ වුවද මෙම අරමුදල් ඒකාබද්ධ කොට පවත්වාගෙනයාම කෙරෙහි වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති බවත්, ඒ නිසාම ඒ පිළිබඳ ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බවත් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම අරමුදල් ඒකාබද්ධ කිරීමට යෝජනා කරන ලද්දේ වැඩි ආරක්ෂාවට බවත්, එසේ වුවද ඒ පිළිබඳ තාමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් අග්රාමාත්යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.