ගැටළු විසඳන්න දුන් පොරොන්දු කඩලා

ගැටළු විසඳන්න දුන් පොරොන්දු කඩලා

November 30, 2015   06:28 pm


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගැටළු විසඳීමට 2015.11.11 දින දුන් පොරොන්දු කඩකර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහි මෙසේද සඳහන්ය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු සියලූම පිරිස් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් 2015.11.11 දින අධ්‍යාපන ලේකම්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. එම සාකච්ඡාවේදී  2014.11.22 දින නිකුත් කළ නව ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව සහ 2014.11.23 දින නිකුත් කරන ලද නව ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරු සහ විදුහල්පතිවරු දෙලක්ෂ පනස්දහසකගේ පමණ උසස්වීම් සකස් නොවීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2014 අයවැයේ දී 2014.12.31 දිනට පෙර සියලූ උසස්වීම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මෙම සේවා ව්‍යවස්ථා නිකුත් කර තිබුණි. නමුත් පැවති රජය එය බොරු පොරොන්දුවක් බවට පත් කළ අතර, වර්තමාන රජය ද දින 100 තුළ ගුරු-විදුහල්පති උසස්වීම් ලබාදෙන බවට ප‍්‍රකාශ කළත් ඔවුන්ද එය සිදු නොකරන ලදී.

මේ වන විට නව ව්‍යවස්ථා තුළ පැන නැඟී ඇති ගැටළු විසදීම හෝ එම ව්‍යවස්ථාවන්ට අනුව උසස්වීම් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කඩිනම් පියවරක් ගෙන නැත. එවැනි පසුබිමක 2015.11.11 දින අධ්‍යාපන ලේකම්වරයා සාකච්ඡාවක් කැඳවා තිබූ අතර, සාකච්ඡාව අවසානයේ තීරණය කරන ලද්දේ 2015.11.17 දිනට පෙර වෘත්තීය සමිති විසින් සමස්ත ගැටළු විද්‍යුත් තැපෑලෙන් යොමු කළ යුතු බවත්, එම ගැටළුවලින් පිළිතුරු ලබාදිය හැකි කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය 2015.11.24 ට පෙර විද්‍යුත් ලිපියකින් පිළිතුරු දෙන බවත්, 2015.11.30 දින නොවිසදුනු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසාන තීරණයක් ගන්නා බවත්ය. එසේ තිබියදී වෘත්තීය සමිතිවල කරුණු දැක්වීම් අදාළ දිනයට යොමු කර ඇතත් අනෙකුත් තීරණයන් වූ 2015.11.24 ට පෙර ලිඛිතව පිළිතුරු ලබාදීමත්, 2015.11.30 දින ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉටු නොකර තිබීම පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කර ඇත්තෙමු.

මේ වන විට 2010 න් පසු වසර 6 කට වැඩි කාලයක් ගුරුවරු දෙලක්ෂ විසි හත්දහසකට ආසන්න පිරිසකට අදාළ උසස්වීම් ලබාදී නැත. සකස් කොට ඇති අල්පයක් වූ උසස්වීම්ද නිවැරදි නොවේ. විදුහල්පති සේවයේ උසස්වීම් 2015 වසරේදී ලබාදිය  යුතු වුවත් ඒ පිළිබඳ වැඩපිළිවෙලක් ද නැත. එසේම ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ ව්‍යවස්ථාවල පවතින ගැටළුවලට ද විසඳුම් නැත. අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය සමිති හා ජනතාව ප‍්‍රතික්ෂේප කළ පාසල් නිළඇදුම් වවුචරයක් වෙනුවෙන් වැඩ කරන අතර පවතින හිමිකම් ද අහෝසි කරමින් ලැබිය යුතු අයිතිවාසිකම් ද ප‍්‍රමාද කරමින් ඒ සඳහා වන විසඳුම් ද කි‍්‍රයාත්මක නොකරන පසුබිමක අධ්‍යාපනය වෙනුවෙන් රජය අයවැයෙන් විශාල මුදලක් වෙන් කළ බවට ප‍්‍රකාශ කරමින් ව්‍යාජ මවාපෑමක් නිරත වන බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.