රංගේ මහින්දට අවි අමෝරයි
November 25, 2015 07:52 pm
ජනවාරි 08දා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීම වැළකීම සඳහා විශ්‍රාමලත් හමුදා නිලධාරීන් යොදා මෙහෙයවූ විශේෂ මෙහෙයුම් මැදිරිය ( Special Operation Room ) භාරව සිටි මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි නමැත්තා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස පත්කරනු ලැබුවේ කුමන වර්ගයේ යහපාලනයකට අනුවදැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙන අතර එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
ජනවාරි 08 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට හවුල් වූවන්ට සභාපතිකම් දුන්නේ ඇයි ? රංගේගෙන් මහින්දට ප්‍රශ්ණ පත්තරයක්
ජනවාරි 08 වැනිදා පැවැති ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීම වැළකීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් විශ්‍රාමලත් හමුදා නිළධාරීන් යොදා මෙහෙයවූ විශේෂ මෙහෙයුම් මැදිරිය ( Special Operation Room ) භාරව සිටි මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි නමැත්තා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස පත්කරනු ලැබුවේ කුමන වර්ගයේ යහපාලනයකට අනුවදැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
ඒ මහතා එසේ ප්‍රශ්න කරනු ලැබුවේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් අමාත්‍යංශයට අයත් සමහර ආයතන වල උසස් නිලතල වලට පුද්ගලයන් පත්කළේ ජනාධිපති කාර්යාල කමිටුවේ අනුමැතිය සහිතව බවට කරන ලද සඳහනකට පිළිතුරු දෙමිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීම වැළකීම සඳහා මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි යටතේ පැවැති විශේෂ මෙහෙයුම් මැදිරිය රාජ්‍ය විරෝධී කුමන්ත්රණයක නිරතවූ බවට මංගල සමරවීර ඇමැතිවරයා විසින් රහස් පොලීසියට පවා පැමිණිලි කර ඇතැයිද, එම විශේෂ මෙහෙයුම් ඒකකයට ලක්ෂ ගණනින් වැටුප් ගෙව්වේ කුප්‍රකට ‘ඇවන්ගාඩ්’ සමාගම බව මාධ්‍ය වල පළවී තිබූ බවත් පවසන රාජ්‍ය ඇමැතිවරයා එවන් පුද්ගලයෙකු වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කළේ ජනාධිපති කාර්යාල කමිටුවේ කාගේ වුවමනාවටදැයි සොයා බැලිය යුතු බවත් පවසයි.
මෙවන් පැහැදිලි කිරීමකට යාමට තමන් කිසිම අවස්ථාවක නොසිතූමුත් අමාත්‍ය සමරසිංහ මහතා විසින් කරතිබූ ප්‍රකාශයට අනුව කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු යැයි තමන් සිතූ නිසා මෙසේ සඳහන් කරන බව ඇමැතිවරයා කියයි.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මෙසේද ප්‍රකාශ කර සිටියි.
“පසුගිය ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීම වැළකීමට ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැති මෙහෙයුම් කාමරය භාරව සිටි අය තමා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ලෙස පත්කර තිබෙන්නේ.
එක් අතකින් ඔහුට වෘත්තීය පුහුණුව ගැන කිසිදු සුදුසුකමක් නැහැ. රට වෙනුවෙන් යුද්ද කළ, ලේ හලපු හමුදාවේ විරුවන්ට සුදුසුකම් තියේනම් ඇමැතිවරයා කියන විදිහට මේ වගේ තනතුරු දීම වැරැදි නැහැ. නමුත් මේ පුද්ගලයා ගෝඨාභයගේ විශේෂ මෙහෙයුම් කාමරය භාරව සිටියේ රට වෙනුවෙන්ද නැත්නම් රාජපක්ෂලා වෙනුවෙන්ද කියල ඇමැතිවරයා නොකිව්වට මුළු රටම දන්නවා.
ඇමැති සමරසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාව දිනවන්න කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදීව බව අප දන්නවා. ඒක අපට ගැටළුවක් නෙවේ. නමුත් ගෝඨාභය යටතේ හිටපු මේ අය වැඩ කළේ මැර බලයෙන්, ආයුද බලයෙන් රට අල්ලන්න කියල අප අමතක කළ යුතු නැහැ. මගේ සටන මෛත්‍රී රනිල් විරෝධී සටනක් නොවේ. මෛත්‍රී - රනිල් පාලනය ශක්තිමත් කරන සටනක් මගේ තියෙන්නේ. මා හිතන්නේ ඇමැතිවරයාද එසේ සිතිය යුතුයි කියල. එහෙම නැතුව මෛත්‍රී - රනිල් පාලනයට විරුද්ධව මැර හා අවි බලයෙන් කටයුතු කරපු අය නැවත ශක්තිමත් කරන එක නෙවෙයි කළ යුත්තේ. අද අපි මේ භුක්තිවිඳින නිදහස ලබා ගත්තේ බරපතළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පරාජය කරල කියල සමහර අයට අමතක වෙලා නිසයි මෙවැනි හතුරුකම් කල අයට නැවත තනතුරු දීල බලයට ගේන්න හදන්නේ.
‘නයිටා’ ( NAITA ) ආයතනයේ සභාපති ලෙස පුත්තලමේ හිටපු නියෝජ්‍ය ඇමැති කෙනෙකු පත්කිරීම ට විරුද්ධ වීම එතුමත් සමග මට තියෙන දේශපාලන ප්‍රශ්නයක් නිසා බව අමැතිවරයා කියා තිබෙනවා. අවුරුදු 15කට කලින් දේශපාලනයෙන් විශ්‍රාම ගිය එතුමත් එක්ක මට මොන දේශපාලන ප්‍රශ්නද ? එයා මට කොහෙත්ම දේශපාලන අභියෝගයක් නෙවේ. පුත්තලමේ වර්තමාන ශ්‍රීලනිප නායකයා වන මිල්රෝයි ප්‍රනාන්දු මහතාව නයිටා සභාපති කරන්න, ඒත් මට ගැටළුවක් නෑ.
අගමැතිවරයාගේ සැලැස්ම වී තිබෙන්නේ ඉදිරි 05 වසර තුළ රැකියා දස ලක්ෂයක් බිහි කිරීමයි. එය ආවට ගියාට කරන්න බැහැ. නයිටා ( NAITA ) එක වෘත්තීය පුහුණු අධිකාරිය ( WTA ) වැනි ආයතන හරහා රැකියා වෙළෙඳපොලට සරිලන අලුත් ශ්‍රමිකයන් බිහි කිරීම මේ අමාත්‍යංශය යටතේ තියෙන ලොකු වගකීමක්. ඒකට සැලසුම් හදන්න මේ විෂය ගැන ඉහල දැනුමක් සහිත, වෘත්තීමය සුදුසුකම් සහිත , කාර්යක්ෂමව වැඩ කල හැකි , ජවයෙන් යුත් අයෙකු තම ඔය තනතුරට සුදුසු. අවුරුදු 71 පැනපු වැඩිහිටියෙකුගේ තියෙන කාර්යක්ෂමතාවය ගැන කියන්න දෙයක් තියෙනවද ?
ඇමැතිවරයා කියනවා මට රාජකාරි ලිඛිතව පැවරුවා කියල. එහෙම කරනවා නම් ඒක ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න ඕන. අගමැතිවරයා විතරයි තමන්ගේ යටතේ තියෙන විෂයන් රාජ්‍ය ඇමැතිවරයාට ගැසට් මගින් නීත්‍යානූකූලව ලබා දීල තියෙන්නේ. වෙන කිසි කෙනෙක් ඒ ආදර්ශය දීල නැහැ.
අවසාන වශයෙන් මහින්ද සමරසිංහ ඇමැතිවරයා කියල තියෙනවා එතුමා ඕනම වෙලාවක සාකච්ඡාවට හා සම්මුතියට සූදානම් කියල. මම අහන්නේ මේ තනතුරු වලට පුද්ගලයන් පත් කරනකොට එතුමාගේ රාජ්‍ය ඇමැතිවරයා වන මාත් එක්ක කොයි වෙලේද කතා කළේ , කොයි වෙලේද සම්මුතියකට ආවේ කියලයි ?
වැඩ කිරීම ගැන මට එතුමාගේ උපදෙස් අනවශ්‍යයි . පුත්තලමේ ජනතාවට වැඩ කරපු නිසා ඔවුන් මාව දිස්ත්‍රික්කයේ පළමු තැනට ගෙනත් දිනෙව්වා. ජනතාවට වැඩ නොකරපු අයව තමයි පහුගිය මහ ඡන්දෙන් ගෙදර යවන්න ජනතාව තීන්දු කළේ. ජනතාවගේ ඒ තීන්දුවට පිටින් ගිහින් ජනාධිපතිවරයා ඒ අයව පාර්ලිමේන්තුවට ගත්තේ, ඇමැතිකම් දුන්නේ නැවත රාජපක්ෂ පාලනයක් ගේන්න වැඩකටයුතු සිද්ධ කරන්න නෙවේ. රජපක්ෂ හිතවාදීන් ශක්තිමත් කරල නැවත ඔවුන් බලයට ගේන්න මේ අය හිතනවනම් ඒකත් අපි බලමු. වෙන මොනව කරන්නද "
සමහරුන්ගේ නෑ හිතවතුන් ගැනත් තව තව දේවල් ගැන හෙළිකරන්න ඕනතරම් දේවල් මට තියෙනවා. නමුත් එතරම් පහත් තැනකට නොයා යුතුයි කියල මට හිතෙන්නේ.