සමහරුන්ට දූපත් මානසිකත්වය තියෙනවා

සමහරුන්ට දූපත් මානසිකත්වය තියෙනවා

November 24, 2015   04:48 pm



අය වැයෙන් රුපියල් කෝටි 9000ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පෙරවරුවේ පැවැති 2015 ජාතික මට්ටමේ පාසල් ‍තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පාසල් ළමුන්ට නිලඇඳුම් වෙනුවට වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ ගැනද එහිදී අමාත්‍යවරයා අදහස් පළ කළ අතර ඔහු කියා සිටියේ දූපත් මානසිකත්වය තියෙන අය එය විවේචනය කරන බවයි.

මෙම වැඩසටහන යටතේ දිවයිනේ සියලු කලාප අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශ‍ තුළ පිහිටි නිලඇඳුම් අලෙවි කරන වෙළඳ මධ්‍යස්ථාන ලියාපදිංචි කරන බවත්, එසේ ලියාපදිංචි කෙරෙන වෙළඳසැල්වලට වවුචරය ඉදිරිපත් කර නිල ඇඳුම් ලබාගත හැකි බවත්, ඇමතිවරයා පැවසීය.

නිල ඇඳුමට සරිලන වටිනාකම හැරුණු විට ඉතිරි මුදල් වෙළඳසැල් හිමියාගෙන් ගත හැකි පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.

වෙළඳසැල් හිමියන්ට එම වවුචරය රාජ්‍ය බැංකුවකට ඉදිරිපත් කර මුදල් ලබා ගතහැකි බවද ඔහු කීවේය.

මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 800ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.