තද සුළඟක්...

තද සුළඟක්...

June 13, 2018  

Bookmark and Share
හුංගම නගරය හරහා අද(13) අළුයම හමාගිය තද සුළඟකින් නගරයේ වෙළදසැල් හා නිවාස විශාල ප්‍රමාණයකට බරපතළ හානි සිදුව තිබේ.

අළුයම 3.00ට පමණ හදිසියේ හමාගිය තද සුළග විනාඩි කිහිපයක් පමණක් පැවති බව ප්‍රදේශවාසීහු පවසති.

සුළං තත්ත්වය හේතුවෙන් හුංගම නගරයේ වෙළදසැල් පනහක් පමණ හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට දැඩි හානි සිදුව ඇතැයි ආපදා කළමණාකරන ඒකකය කියයි.

බොහෝ නිවාස හා වෙළදසැල් මතට ගස් කඩා වැටී තිබූ අතර ඇස්බැස්ටෝස් ෂීට්, සෙවිලි තහඩු, උළු, කඩා වැටුණු ශාක කොටස් ආදිය මාර්ගය දෙපස දක්නට ලැබිණි.

අළුයම් කාලයේදී හුංගම නගරය හරහා ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද සුළු බාධා සිදුව තිබිණි.

විදුලි රැහැන් මතට ගස්කඩා වැටී තිබීම නිසා ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අතර විදුලිබල මණ්ඩලයේ නිළධාරිහු අද උදෑසන කාලයේ සිට ඒවායේ අලුත්වැඩියා කටයුතු සිදු කලහ.

ඇතැම් විශාල ප්‍රමාණයේ ශාක සම්පූර්ණයෙන් ගැලවී වැටී තිබෙනු දක්නට හැකිවිය.

සුළං තත්ත්වය හේතුවෙන් දේපළ විශාල ප්රපමාණයකට හානි සිදුව තිබුණද කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.

ආපදා කළමණාකරන ඒකකයේ හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් විසින් විපතට පත්වූ ප්‍රදේශවාසීන්ට ආහාර ලබාදීම සිදුකෙරිණි.

සිදුව ඇති දේපළ හානි පිළිබදව මෙතෙක් තක්සේරු කර නොමැත.

ඡායාරූප - සහම්පති මානගේ