අනතුර...

අනතුර...

May 15, 2018  

Bookmark and Share
‍හලාවත - කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම ප්‍රදේශයේදී අද(15) අළුයම සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව හලාවත පොලීසිය පවසයි.

අද අළුයම 5.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - විලත්තව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කුඩා ප්‍රමාණයේ ලොරියක්, වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මාළු රැගෙන ඒම සඳහා ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ ලොරිය මාර්ගය හරහා දිව ගිය ගවයෙකුගේ ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණ ඇති වෑන් රථයේ සහ යතුරු පැදියේ ගැටී ඇති බව මූලික විමර්ශන වලදී හෙලිවී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ගවයාද මිය ගොස් ඇති අතර අයාලේ යන ගවයින් හේතුවෙන් පසුගිය දිනවල හලාවත ප්‍රදේශයේ නිරතර අනතුරු සිදු වන බව ප්‍රදේශවාසීන් පවසයි.

අයාලේ යන ගවයින් ගේ හිමිකරුවන්ට දඬුවම් කිරීමට ප්‍රදේශයේ කිසිඳු පළාත් පාලන ආයතනයක් කටයුතු නොකිරීම මෙම අනතුරු වලට හේතුවී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේය.

හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

ඡායාරූප-ජූඩ් සමන්ත