යළිත් ගම් උදාව ගේනවා - මාධ්‍ය ගම්මානයක් හා වෙදගම්මානයක් හදනවා

යළිත් ගම් උදාව ගේනවා - මාධ්‍ය ගම්මානයක් හා වෙදගම්මානයක් හදනවා

October 5, 2015   04:54 pm



ප්‍රේමදාස යුගයේ 'ගම් උදාවැඩසටහන'යළි රට පුරා ක්‍රියාත්මක කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර අයවැයෙන් ඇස්තමේන්තු ගත රු. මිලියන 240න් උදාගම් 38 ක් ක්‍රියාත්මක කරන බවත්, මීට අමතරව පුද්ගලික ආධාර මගින්ද උදාගම්මාන ඉදිකිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේ අද(05)ලෝක ජනවාස දිනයට සමගාමීව මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදීය.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මධ්‍යම පාන්තික ජනතාවට  නිවාස ලක්ෂ 5ක්ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.

මීට පෙරාතුව දින 100 න් නිවාස 50,000 ක් සාදන බවට දුන් පොරොන්දුව ඉටුකරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කළ බවත්, දින 100 තුළ නිවාස 38,000 ක් ආරම්භ කළ බවත්, මේ මස අවසන් වන විට එකී 38,000 ක වැඩකටයුතු නිමා කරන බවත්, ලබන වසර තුළ ඉතිරි නිවාස ආරම්භ කරන බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

මීට අමතරව මාධ්‍යවේදීන් සඳහා ඓතිහාසික මාධ්‍ය ගම්මානයක්ද, වෙද ගම්මානයක්ද ගොඩනඟන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රජයේ මූල්‍ය අනුග්‍රහ්‍ය හා තාක්ෂණික අනුග්‍රහයත්, ප්‍රජා සහභාගිත්වයත් යොදාගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්, මෙවර ජනාවාස දිනය නිමිත්තෙන් කපරාදු ‍නොකරන ලද නිවාස 25,000 ක් තෝරාගෙන ඒවා කපරාදු කරවීමට කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ඒ අනුව මීට ඉහතදී සැමරුම් දිනයක් පමණක් බවට පත්ව තිබුණු ලෝක ජනාවාස දිනය මෙවර සක්‍රීය වැඩසටහනක් බවට පත්කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.