රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය සතු වගකීමක්!

රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය සතු වගකීමක්!

October 5, 2015   12:30 am

රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම රජය සතු වගකීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මත වීමත් සමග රජය විසින් එය තමන් ලැබූ ජයග්‍රහණයක් ලෙස විග්‍රහ කරමින් සිටින බවයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පහත පරිදි අදහස් දැක්විය.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට පිළිබඳ යෝජනා සම්මත වීමත් සමඟම ආණ්ඩුව එය විග‍්‍රහ කරනවා තමන් ලැබූ ජයග‍්‍රහණයක් කියලා. එමෙන්ම යෝජනාවලියෙන් රටට හානියක් වුණේ නැහැ කියලා ආණ්ඩුව කියනවා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ ඇතුළු පිරිස කියමින් ඉන්නවා තත්ත්වය ඉතා බරපතළයි කියලා.

 ඒ දෙපාර්ශ්වයම සිදුකරමින් ඉන්නේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගන්න එකයි. ආණ්ඩුව හෝ දේශපාලන වශයෙන් බංකොළොත්වී සිටින අනෙකුත් පිරිස් මෙම තත්ත්වය රට ගැන හිතලා විග‍්‍රහ කරන්නේ නැහැ.
අපි මේ ප‍්‍රශ්නය පිළිබඳව රටක් විදියට කල්පනා කළොත්, අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වුණු මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සමුළුවකදී සාකච්ඡාවට බඳුන් වෙලා පරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීමම අපේ රටට ඇතිවුණු හානියක් කියලයි ජනතා විමුක්ති පෙරමුණ දකින්නේ.

අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡාවකට බඳුන්වීම රටටත් ජනතාවටත් මේ රටේ ආණ්ඩු කරපු හානියක්. අපේ රටට මේ හානිය කළේ කව්ද? අපේ රට මේ තරම් බරපතළ තත්ත්වයකට පත්කළේ පහුගිය මහින්ද රාජපක්‍ෂ පාලනයත් ඔහු වටා සිටි අනෙකුත් පිරිසත් විසින්. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද්ධයෙන් පසු බරපතළ විදියට මානව හිමිකම් කැඩුවා. එයින් නතර නොවී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝණය කළා. එයිනුත් නොනැවතී අපේ රටේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය තමන්ට දේශපාලන වාසි ගන්න පාවිච්චි කළා. මහින්ද රාජපක්‍ෂත් පැවති හැම ඡන්දයකදීම කිව්වේ ජාත්‍යන්තරයට පණිවුඩයක් දෙන්න තමන්ට ඡන්දය දෙන  ලෙසයි. තමන් විදුලි පුටුවෙන් බේරගන්න ඡන්දය දෙන්න කිව්වා. රටේ ජනතාවටත් ජාත්‍යන්තරයටත් බොරු කිව්වා.

 
පහුගිය ආණ්ඩුව කටුනායකදී හලාවතදී, වැලිවේරියේදී අයිතීන් ඉල්ලලා සටන් කරපු ජනතාවට වෙඩි තියලා ඝාතනය කළා. එවැනි හේතු ජාත්‍යන්තරය විසින් අපේ රටට එරෙහිව චෝදනා එල්ල කිරීමට පාවිච්චි කළා. ඒවගේම මාධ්‍යවේදීන්ට පහර දුන්නා. ඝාතනය කළා. මාධ්‍ය ආයතන ගිණි තැබුවා. එවැනි සිද්ධීන්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ප‍්‍රයෝජනයට ගත්තා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ අපේ රටේ අධිකරණයට අත තිබ්බා. අධිකරණය පිළිබඳව විශ්වාසය මුළුමනින්ම බිඳ දැම්මා. එනිසා ජාත්‍යන්තරය විසින් අපේ රටේ සිදුකරන අභ්‍යන්තර පරීක්‍ෂණ පිළිබඳව විශ්වාසය තැබීමට සූදානම් නැති බව කිව්වා. මේ ආකාරයට අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වීමට අවශ්‍ය දොරටු විවෘත කළේත් තර්ක ගොඩනැගුවේත් දැන් බොරුවට කෑගහන වීරවංශලා ඇතුළු පිරිස් හිටපු මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවමයි.


2009 මැයි 22දා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයක් පැවැත්වුණා. එහිදී ලංකාව වෙනුවෙන් රටවල් 13ක් එකතු වෙලා යෝජනාවක් ඉදිරිපත් කළා. එනිසා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කිරීමට සිටි යෝජනාව වැළකුණා. රටවල් 13 විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව එවකට ශී‍්‍ර ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම සමඟ සහයෝගයෙන් වැඩ කරන්න පොරොන්දු වුණා. එමෙන්ම 2009 මැයි 23වනදා මෙරටට පැමිණි එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සමඟ ඒකාබද්ධ ප‍්‍රකාශයකට මහින්ද රාජපක්‍ෂ විසින් අත්සන් තැබුවා.


එම ඒකාබද්ධ ප‍්‍රකාශයට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නිර්දේශ අනුව අපේ රටේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් පොරොන්දු වුණා. ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමට වග වෙන බවටත් මහින්ද රාජපක්‍ෂ පොරොන්දු වුණා. ඒ විතරක් නෙවෙයි, 13වන සංශෝධනය අනුව බලය බෙදන්නත් මහින්ද රාජපක්‍ෂ එදා එකඟ වුණා. එසේ තිබියදී එම එකඟතාවයන්ට අනුව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් තමන්ට  ඕන  ඕන විදියට වැඩ කළා. ශී‍්‍ර ලංකා ආණ්ඩුව පොරොන්දු කඩකරන බව පවසමින් බෑන්කී මූන් විසින් 2010 මාර්තු මාසයේදී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමට දරුස්මාන් නමින් විශේෂ කමිටුවක් පත් කළා.

එවකට ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා දරුස්මාන් කමිටුවේ සාමාජිකයින් සමඟ පිට රටවල පාටි දැම්මා. එහෙම කරද්දී සමහරු මෙහෙ මාරාන්තික උපවාස පටන් ගත්තා. දරුස්මාන් කමිටුවට එරෙහිව මහින්ද රාජපක්‍ෂලා 2010 මැයි මාසයේදීම එල්.එල්.ආර්.සී. කොමිසම පත්කළා. ඒ අතරේ 2010 ජූනි මාසයේ ඉන්දියානු සංචාරයකට ගිය මහින්ද රාජපක්‍ෂ මන්මෝහන් සිං සමඟ ඒකාබද්ධ ප‍්‍රකාශයකට අත්සන් කර 13වන සංශෝධනයට අනුව බලය බෙදන්න පොරොන්දු වුණා. එසේ තිබියදී හැම ගිවිසුමක්ම පැත්තකට දාලා මහින්ද රාජපක්‍ෂ තමන්ට  ඕන විදියට වැඩ කළා. ඒ කි‍්‍රයාවලිය නිසා තමයි අද මානව හිමිකම් කොමිසම විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙන්නේ.


එල්.එල්.ආර්.සී. වාර්තාව ඉදිරිපත්වූ පසුව නිමල් සිරිපාලද සිල්වා ප‍්‍රකාශ කර සිටියේ මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව නීත්‍යානුකූලව පරීක්‍ෂණයක් සිදුකරලා වැරදිකරුවන්ට දඬුවම් ලාබදීමට කටයුතු කිරීම රජයේ විශ්වාසයයි කියලා. ඒ ආකාරයෙන් කටයුතු නොකිරීම නිසා තමයි අද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඇවිත් තිබෙන්නේ. ඒ අතරතුර 2013 වර්ෂයේ නවනීදන් පිල්ලේ ලංකාවට ගෙන්වා ගත්තා. ලංකාවේ සංචාරයෙන් පසුව නවනීදන් පිල්ලේ කියා සිටියේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව මානව හිමිකම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් එන බවයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තමයි ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්නය බෙල්ලටම හිර කළේ. රාජපක්‍ෂ මේ ප‍්‍රශ්නය සමඟ සෙල්ලම් කළා. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කළා. ඒ කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලය තමයි අද අපිට ලැබිලා තිබෙන්නේ.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවල දෙමුහුන් අධිකරණයක් පිළිබඳ අදහසක් තිබුණා. ඒ අතරතුර තමයි ඇමරිකාව විසින් යෝජනාවක් ඉදිරිපත් කළේ. අපි සැලකිය යුතු වන්නේ එම යෝජනා රටට හිතකරද නැද්ද කියලයි. දැන් ආණ්ඩුව කියනවා වෙන්න තිබුණු භයානක දේට වඩා සිදුවුණු දේ හොඳයි කියලා. බැලූ බැල්මට සම්මත වූ යෝජනාවේ සමහර වගන්ති හොඳයි වගේ පේනවා. නමුත් ඇතැම් යෝජනා මගින් ශී‍්‍ර ලංකාවට බලපෑම් කරන්න පුළුවන් ඉඩකඩ විවෘත කරගෙන තිබෙනවා. අනාගතයේදී අපේ රටට හානි ගෙනදිය හැකි වගන්ති එම යෝජනාවල තිබෙනවා. එනිසා එම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි වාර්තාවක් කියලයි අපි දකින්නේ. එම යෝජනාවලියේ බරපතළ කරුණු කිහිපයක් තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව ආණ්ඩුවට ජාතික කි‍්‍රයාවලියක් තිබුණේ නැතිබව ඔවුන් පවසනවා.

 ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ විමර්ශන වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරවීමට ශී‍්‍ර ලංකා ආණ්ඩුව උනන්දු කරවන බවටත් යෝජනාවේ සඳහන්. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ විශ්වාසනීය අධිකරණ කි‍්‍රයාවලියක් සිදුවෙන බවට සෑහීමකට පත්විය නොහැකි නම් පොදු රාජ්‍ය මණ්ඩලීය හා අනෙකුත් රටවල්වල විනිසුරුවරුන් සම්බන්ධ කරගත යුතුයි කියලා එම යෝජනාව කියා සිටිනවා.