බිලිවීම......

බිලිවීම......

April 16, 2018  

Bookmark and Share
හලාවත, ආරච්චිකට්ටුව මුතුපන්තිය දුපත නැවත උග්‍ර මුහුදු ඛාදනයකට නතු වෙමින් පවතින බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

ඊයේ (15) පස්වරුව වන විට නිවසක්ද මුහුදට බිලි වූ අතර තවත් ගොඩනැගිලි කීපයක් මුහුදට බිලිවීමේ අවදානමේ පවතන බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක කර්මාන්තයටද වඩාත් යෝග්‍ය ස්ථානයක් ලෙස හදුනා ගෙන ඇති ආරච්චිකට්ටුව, මුතුපන්තිය දූපතේ මේ වන විට පවුල් 150 කට ආසන්න පිරිසක් ජීවත් වෙයි .

ඉකුත් වසරේද අග භාගයේ හා මේ වසරේ මුල් කාලයේ මේ දුපත මුහුදු ඛාදානයකට ලක් ඇති අතර පසුගිය වසර පහක පමණ කාලය තුළ මේ දුපත අවස්ථා කීපයකදීම උග්‍ර මුහුදු ඛාදනයකට නතු වීම හේතුවෙන් පවුල් රැසකට නිවාස අහිමිව තිබේ.

මිට යාබද පිහිටි නගුල් එළිය දුපතටද මේ ඉරණම අත් වූ අතර ඒ හේතුවෙන් එම දුපතේ පදිංචි කරුවන් සඳහා වෙනත් ස්ථාන ලබා දීමටද රජයට සිදු විණි.

පසුගිය කාලය තුළ මේ දුපතේ මීටර් 500 කට වැඩි දුර ප්‍රමාණයක් මුහුදට හේදි ගොස් ඇති බව මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව මුතුපන්තිය ධිවර සමිතියේ ලේකම් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වන විටත් වෙරළ ආසන්නයේ පදිංචිව සිටි කීප දෙනෙකුම තම නිවාස අතහැර වෙනත් ස්ථානවල පදිංචියට ගොස් ඇති බවද ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිරෙන් හැමිල්ටන් ඇලටත්, බටහිරෙන් මහ මුහුදටත් කොටුවී ඇති මුතුපන්තිය දූපත ගොඩබිම හා සම්බන්ධ වන්නේ කුඩා පාලමකින් වන අතර මෙහි වෙසෙන්නන්ගේන් බහුතරයක් කුමන ආකාරයකට හෝ ධීවර කර්මාන්තය හා එක්ව සිටියි.

ඇතමුන් කුඩා ප්‍රමාණයේ බෝට්ටු හෝ තෙප්පම් මඟින් මුහුදට ගොස් මසුන් මරාගෙන එන අතර තවත් පිරිසක් මා දැල් කර්මාන්තය හා එක්ව කටයුතු කරයි.

මිට අමතරව ඉස්සන් හා කකුළුවන් වගා කිරීමෙන් ජීවත් වන කොටසක්ද මෙහි සිටියි.

දිනෙන් දින ඉහළ යන මුහුදු ඛාදනය නිසා තමන්ගේ බෝට්ටු සහ තෙප්පම් ගාල් කිරීමටද ස්ථානයක් නොමැති වී ඇති බව මුතුපන්තිය දූපතේදී ධිවර සමිතියේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා පවසයි

මේ අතර මෑතක සිට සංචාරක ව්‍යාපාරයකටද සුදුසු ස්ථානයක් ලෙස මුතුපන්තිය දූපත නම් කර ඇති අතර ඊට හේතුව වී ඇත්තේ මුතුපන්තිය දූපතට ආසන්නයෙන්ම පිහිටා ඇති ආනවිළුන්දාව රම්සා තෙත් බිම් අභය භූමියයි.

ආනවිළුන්දාව රම්සා තෙත් බිම යනු සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක්ද වන අතර දෙස් විදෙස් සංචාරක පක්ෂීන් මෙම තෙත් බිමට වාර්ෂිකව පැමිණෙයි.

මුතුපන්තිය දුපත දිගින් දිගටම මුහුදු ඛාදනයට නතු වන්නේ දැනට දමා ඇති ගල් වැටී නිසි පරිදි නොදැමීම නිසා යැයි මෙහි ජිවත් වන බහුතර ධිවරයනගේ මතයයි.

මේ පිළිබඳව වයඹ ධිවර ඇමති සුමල් තිසේරා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු කර ඇති බවයි .