දිසා විනිසුරුවරුන් 05ක්  මහාධිකරණ විනිසුරුවරුන් වෙයි

දිසා විනිසුරුවරුන් 05ක් මහාධිකරණ විනිසුරුවරුන් වෙයි

September 4, 2015   05:02 pm




දිසා විනිසුරුවරුන් 05 දෙනෙකු නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම්දී තිබේ.

ඊයේ පස්වරුවේ අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ඉදිරියේදී ඔවුන් දිවුරුම්දීම සිදු කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව කෑගල්ල දිසා විනිසුරු ලෙස කටයුතු කළ රොහාන් ජයවර්ධන මහතා අනුරාධපුර සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා ලෙසත්, කොළඹ දිසා විනිසුරුවරයෙතු ලෙස කටයුතු කළ හර්ෂ සේතුංග මහතා කුරුණෑගල සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා ලෙසත් දිවුරුම්දී ඇත.

එමෙන්ම කොළඹ දිසා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ සුමිත් පෙරේරා මහතා ගාල්ල සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ලෙසත්, නුගේගොඩ දිසා විනිසුරු ලෙස කටයුතු කළ අජිත් මාසිංහ මහතා හම්බන්තොට අපරාධ මහාධිකරණයේ විනිසුරුවරයා ලෙසත් දිවුරුම්දී ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ අතිරේක දිසා විනිසුරුවරියක ලෙස කටයුතු කළ කුමාරි අබේරත්න මහත්මිය කෑගල්ල සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරිය ලෙසත්, කඩුවෙල දිසා විනිසුරු ලෙස කටයුතු කළ වසන්ත ජිනදාස මහතා රත්නපුර අපරාධ මහාධිකරණයේ විනිසුරු ලෙසත් දිවුරුම්දී ඇත.

අධිකරණ  සේවා කොමිෂන් සභාවේ සහ නීතිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.