පොළොන්නරුවේ වී තොග සුරක්ෂිතයි

පොළොන්නරුවේ වී තොග සුරක්ෂිතයි

September 4, 2015   04:44 pm



මහ කන්නයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් වී තොග කෘමි හානියට හෝ කිසිදු උපද්‍රවයකට පත්ව නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරු සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඩී වන්නිනායක මහතා පෙන්වාදෙන්නේ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් ලබා දුන් වාර්තාවකට අනුව  මේ බව තහවුරුවී ඇති බවයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ කන්නයේ සමූපකාර සමිති මගින් මිලදී ගත් වී තොග කෘමි හානියකට පත්ව ඇති බවට විවිධ ප්‍රචාර සිදු වූ බව  සඳහන්ය.

මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා  ඒ පිළිබඳ සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර  ඉන් ලැබුණු වාර්තාවට අනුව වී තොග කිසිදු කෘමි හානියකට ලක්ව නොමැති බවට තහවුරුවී ඇත.

එමෙන්ම මිලදී ගන්නා වී තොග ආරක්ෂා කිරීම සමූපකාර සමිති සතු වගකීමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වාදෙයි.

මේ අතර  මහ කන්නයේදී මිලදී ගත් වී තොග වහාම අලෙවි කර  ගබඩා හිස් කරන ලෙසත් ඒ වෙනුවට යල කන්නයේ වී තොග ගබඩා කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී ඇත.

එසේ වී අලෙවි කිරීමට පෙර පිරිවිතරයන් කැඳවා ඉහළම මිල ගණන් යටතේ අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව ඩබ්ලිව්.එම්.ඩී වන්නිනායක මහතා පැවසීය.

මේ අතර හම්බන්තොට, මත්තල  ගුවන් තොටුපළේ භාණ්ඩ ගබඩා සංකිර්ණයක් තුළ වී ගබඩා කිරීමට විරෝධය පළ කරමින් සූරියවැව ප්‍රදේශවාසින් පිරිසක්ද අද විරෝධාතවක නිරත විය.

අද පෙරවරුවේ සූරියවැව බස් නැවතුම්පළින් විරෝධතාවය ආරම්භ කළ ප්‍රදේශවාසින් පෙළපාලියකින් නගරය හරහා ගමන් කර යළිත් බස්නැවතුම්පළ වෙත පැමිණි බව සඳහන්ය.