වකුගඩු රෝගය ඇති ප්‍රදේශවලට පානීය ජල පහසුකම්

වකුගඩු රෝගය ඇති ප්‍රදේශවලට පානීය ජල පහසුකම්

September 3, 2015   03:50 pm



ඉදිරි වසර දෙකක කාලය තුළ වකුගඩු රෝගය පවතින ප්‍රදේශ වල ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

උතුරුමැද පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ  තුනෙන් දෙකක ප්‍රදේශ වල වකුගඩු රෝගය ව්‍යාප්තව ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

මැදිරිගිරිය , තලකොලවැවව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී අද වකුගඩු රෝගීන් සඳහා ජල පිරිපහදු ඒකකයක් ජනතා අයිතියට පත්  කිරීමේ උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

පිරිසිදු ජලය ලබාදීමේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා  පොළොන්නරු දිස්ත්‍රීක්කයේ දැඩි ආර්ථික අපහසුතා ඇති ගම්මාන මුල්කරගනිමින් සකස් කර ඇති පස්අවුරුදු සලැස්ම සඳහා  ඉදිරි සතියේ කැබිනට් අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර ඇත.