මත්තල සද්දෙ දැමූවන් උසාවියට කැඳවයි

මත්තල සද්දෙ දැමූවන් උසාවියට කැඳවයි

September 3, 2015   12:12 pm


මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ  ගුවන් භාණ්ඩ බහලුම් මධ්‍යස්ථානයේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් පසුගිය 02 දින මත්තල ගුවන්තොටුපළ තුළ විරෝධතාවය පැවැත්වීම සම්බන්දයෙන් අයුතු ජනරාශිය ,අයුතු අවහිර කිරීම ,අයුතු ඇතුළුවීම් ,සාපරාධි බලහත්කාර යන චෝදනා  යටතේ පුද්ගලයින් කීප දෙනෙකුහට BR 32544 / 2015 යටතේ නොතීසි නිකුත් කර තිබේ.


 ඒ අනුව හෙට (04දා) පෙරවරු 09 ට තිස්සමහාරාම අධිකරණයේ   පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.


     මෙසේ නොනීසි නිකුත්කර ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජිත උබේවර්ණ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත්, ගුවන් තොටුපළේ සේවයේ නියුතු සේවකයන් දෙදෙනෙකුටත් බව අප වාර්තාකරු කියා සිටියි.


    එමෙන්ම ගුවන්තොටුපළ පාලන අධිකාරියේ කළමනාකරු සුසිල් කළංසූරිය, මත්තල ගුවන් තොටුපළ ආරක්ෂක  නිලධාරී ලක්ෂ්මන් ඉද්දමල්ගොඩ යන අයටද බාහිර පුද්ගලයන් ගුවන් තොටුපළට ඇතුළුවීමට ඉඩ සැලැස්වීම සහ ගුවන් තොටුපළ දෛනික කාර්යයට හා එහි පාලන ක්‍රියාවලි නිසි ලෙස ඉටුනොකිරීම සම්බන්ධයෙන් මෙසේ තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබේ.


   මේ සම්බන්ධයෙන් පරීක්ෂණ  කටයුතු වැඩබලන තංගල්ල කොට්ඨාස භාර නිලධාරී සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බවද අප වාර්තාකරු කියා සිටියි.