ජාතික ආණ්ඩු යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද

ජාතික ආණ්ඩු යෝජනාව ගැන පාර්ලිමේන්තුවේ වාද විවාද

September 3, 2015   11:25 am



ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් සිය තර්ක ඉදිරිපත් කරන ලදී.

එයට මුල්වූයේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 19 වැනි ව්‍යවස්ථාවේ සඳහන් “ජාතික ආණ්ඩුවක් යනු” වගන්ති කිහිපයක් ගෙන හැර දැක්වීමයි.

එම වගන්තිවලට අනූව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂය සමග පිළිගත් අනිකුත් දේශපාලන පක්ෂවල සහයෙන් එම ආණ්ඩුව පිහිටුවිය  හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ගත යුතු බවද, එසේ කිරීමට නොහැකි පරිදි ස්ථාවර නියෝග අත්හිටුවා ඇති බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

මේ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයත්, ප්‍රධාන විපක්ෂයත් එක්ව පිහිටුවීමට යන්නේ ජාතික ආණ්ඩුවක් නොවන බව ඔහුගේ තර්ක විය.

එහිදී ආණ්ඩු පක්ෂය නි‍යෝජනය කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 19 ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මෙය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මිසක් ශ්‍රේෂ්ඨාධිකරණය නොවන බවයි.

ජවිපෙ මෙන්ම ද්‍රවිඩ සන්ධානය ජාතික ආණ්ඩුවකට මීට පෙර සිටම කැමැත්ත පළ නොකළ බවද පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ජාතික ආණ්ඩුවක් සැදිය යුතුද නැද්ද යන්න සභාවට තීරණයක් ගත  හැකි බවද කියා සිටියේය.

දැනටමත්, ජනපති හා අගමැති පක්ෂ දෙකෙන්ම පත්ව සිටියදී ‍මීට වඩා ජාතික ආණ්ඩුවක් කුමක්දැයිද ඔහු ප්‍රශ්න කළේය.

මෙම කරුණට අදාළව විපක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධණ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, චන්ද්‍රසිරි ගජධීර මහත්වරුන්ද අදහස් දක්වන ලදී.

එසේම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, ජයම්පති වික්‍රමරත්න, විජයදාස රාජපක්ෂ මහත්වරුන්ද අදහස් දැක්වූ අතර දෙපාර්ශවයේම අදහස් සැලකිල්ලට ගත් කථානායක කරු ජයසූරිය මහතා සිය තීරණය විනාඩි 10කින් දැනුම්දෙන බවද කියා සිටියේය.