මගේ ගමන සෙමෙන් - ආපසු හැරවීමක් නෑ

මගේ ගමන සෙමෙන් - ආපසු හැරවීමක් නෑ

September 2, 2015   04:36 pm


තමන් වේගවත් ගමනක් ආ‍ කෙනෙක් නොවන බවත්, ඉදිරි ගමනත් වේගවත් ගමනක් නොවන බවත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.

තමන් සෙමෙන් ගමනක් යන කෙනෙක් නිසා එම ගමන ආපසු හැරවීමට කිස‍ිසේත් සුදානම් නැතැයිද රට වෙනුවෙන් සියලුදෙනා එකතු කරගනිමින් එක ගමනක් යාම තම අරමුණ බවද ඒ මහතා පවසයි.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කිරීමටත්, පක්ෂය නව මුහුණුවරකින් යුතුව ගොඩනැඟීමටත්, අත්‍යවශ්‍යම අවස්ථාව උදාවී ඇති බවත්, ජනාධිපතිවරයා කියයි.

ඒ අනූව පැවැති මැතිවරණවලින් පරාජය වීමට සිදුවූ හේතු හඳුනාගෙන නව ජවයකින් යුතුව ඉදිරි දේශපාලන දැක්ම ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවද හෙතෙම  පවසයි.

එසේම වෛරී දේශපාලනය මේ රටින් තුරන් කළ යුතු බවද පොළොන්නරුව, කදුරුවෙල, රජරට නවෝදය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සර උත්සවය   අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

සංවත්සර උත්සවයේ පිළිගැනීමේ කතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සංවත්සරය වෙනුවෙන් සිරිලක සමරු කලාපය මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ද මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් සිදුකරන ලදී.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගමැති දිමු ජයරත්න මහතා, හිටපු විපක්ෂ නායක  නිමල් සිරිපාල ද සිල්වා මහතා, චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, එස්.බී.දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, ඇතුළු ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.