වගකීම ඉටුකරන්නට කැපවිය යුතුයි

වගකීම ඉටුකරන්නට කැපවිය යුතුයි

August 31, 2015   06:30 pm


රටේත්, ජාතියේත් අනාගතය තීරණය කෙරෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සියලූ අමාත්‍යාංශ සහ ආයතන කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීමට අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමේදී ඒ ඒ අමාත්‍යාංශ සහ ආයතන මුහුණ දී ඇති ගැටළු, නව යෝජනා සහ අඩු පාඩු පිළිබද වාර්තාවක් තමා වෙත ලැබීමට සලස්වන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මත්ද්‍රව්‍ය රට තුළට ගෙන්වීම පිළිබද වැටලීම්වලදී පැන නැඟී ඇති නීතිමය ගැටළු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.