2018 වසරේ සිට ඇස්බැස්ටස් තහඩු සම්පූර්ණයෙන් තහනම්

2018 වසරේ සිට ඇස්බැස්ටස් තහඩු සම්පූර්ණයෙන් තහනම්

August 29, 2015   04:29 pm



පොලිතීන් සහ ඇස්බැස්ටස් තහඩු  භාවිතය වැලැක්විම සඳහා ලබන වසරේ සිට දැඩි නීතිරිති පනවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරිසරයට සහ ජනතාවගේ සෞඛ්‍යට බලවත් තර්ජනයක් බවට පත්ව ඇති පොලිතීන් භාවිතය වැලැක්විමට  ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට දැඩි නීති පනවන බවයි.

එමෙන්ම ඇස්බැස්ටස් ආනයනය සහ නිෂ්පාදනය 2018 වසරේ ජනවාරි 01 වනදා සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පාරිසරික සත්කාරක වැඩසටහන වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මහනුවර ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත් වුණි.

සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී තමන් පොලිතීන් භාවිතය තහනම් කිරිමට සහ ඇස්බැස්ටස්  මෙරටට ගෙන්වීම වැලක්විමට අවශ්‍ය සැලසුම් සකස් කළ ද ඒවා ක්‍රියාත්මක කිරිමට අවස්ථාව නොලැබුණු බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

පිළිකා රෝග ව්‍යාපෘතියට ඇස්බැස්ටස් තහඩු ප්‍රබල සාධකයක් වී ඇති බවට සනාථ වි ඇති බව පෙන්වා දුන් මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු පෞද්ගලික සමාගමකට හෝ ආයතනයකට යටත් නොවි පොලීතින් සහ ඇස්බැස්ටස් තහඩු භාවිතයෙන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව අවාධාරණය කර තිබේ.

ශ්‍රී දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර වැඩසටහනේ සමරු කලාපය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද එහිදී සිදු කෙරුණු බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.