ඉවත්වීමට ගත් තීරණය තවදුරටත් සංවාදයට ලක් කළ යුතුයි
July 6, 2015 07:02 pm
අපට වැදගත් සාධකය මහින්ද රාජපක්ෂ ද කියන කාරණය නොව මෙම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගන්නා තීරණය බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
පවත්නා දේශපාලන වාතාවරණය “අප ගත යුතු මග” මැයෙන් රැස්වීමක් අද කොළඹදී පැවැති අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.
කරුණු කිහිපයක් අපි ඉදිරියේ අභියෝගයට ලක්ව ඇති බව ද මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරියට යාමටත්, බාධක ඉවත් කිරීමටත්, බලාපොරොත්තු වන බව උන්වහන්සේ පැවසීය.
ජාතික හෙළ උරුමය ලෙස ඡන්ද ලක්ෂ 10ක් ගැනීමට හැකි නම් මෙරට අගමැති තීරණය කරන්නේ අපි බවද උන්වහන්සේ කියා සිටියේය.
මේ නිසා සන්ධානයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය ගැන ජාතික හෙළ උරුමය ලෙස එය තවදුරටත් සංවාදයකට ලක්කිරීම සුදුසු යැයි තමන් වහන්සේගේ අදහස බවද රතන හිමියන් පැවසුවේය.
කෙසේ වුවද මෙරට ජනතාව අපට තෙවැනි බලවේගය වන්නැයි ඉල්ලා සිටින්නේ නම් දශමයක්වත් පමා නොවී ඒ සඳහා අඩිතාලම දැමීමට සුදානම් බවද පවත්නා වාතාවරණය යටතේ අවශ්‍ය වුවහොත් සන්ධානය සමග වුවද ඉදිරියේදී ගමනක් යාමට සුදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළේය.
ඒ අනූව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද පෙරමුණ ශක්තිමත් කර ගැනීමට අස්ථාව ලබාදෙන බවද රතන හිමියන් පැවසුවේය.
පැරණි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දැන් වැඩක් නැති බවද එය අලුත් විය යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී වෙනත් පෙරමුණකින් ඉදිරිපත් වන බව ජාතික හෙළ උරුමය පසුගියදා පැවසීය.