ජී.එස්.පී  සහනය යළි ශ්‍රී ලංකාවට - අමෙරිකානු ජනපති එකඟ වුණා

ජී.එස්.පී සහනය යළි ශ්‍රී ලංකාවට - අමෙරිකානු ජනපති එකඟ වුණා

July 6, 2015   05:14 pm



ජි.එස්.පී තීරු බසු සහනය ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ නියෝගයට අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට ලැබුණු මෙම තීරුබදු සහනය 2013 වසරේ ජුනි මස 13 වනදා සිට අවසන්ව තිබුණි.

කෙසේ වුව ද තීරුබදු සහිතව අමෙරිකා එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කළ හැකි පරිදි එම සහනය යළි ලැබීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයකට අනූව එම සහනය ලබාදී ඇති බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා එරටට හිත මිත්‍රකම් දක්වන රටවල් සමග පවත්නා අඩු වැඩි මිත්‍රත්වය මත මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඔහු පැවසුවේ ඒ අනූව ශ්‍රී ලංකාවට අහිමිවීමට ගිය ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීමට අමෙරිකානු ජනාධිපතිවරයා එකඟ වී ඇති බවයි.

මෙම සහනය යටතේ මෙරට අපනයන භාණ්ඩ අමෙරිකානු වෙළඳපොළට යැවීමේදී අයකළ සියයට 11ක පමණ බද්ද ඉවත්වන බවත්, එහි වාසිය මෙරට ව්‍යාපාරිකයාට යළි ලැබෙන බවත්, හෙතෙම කීවේය.

ඒ අනූව ජී.එස්.පී ප්ලස් බදු සහනය ලැබීමත් සමග මෙරට අපනයනකරුවන්ට වාසි රැසක් අත්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජි.එස්.පී ප්ලස් බදු සහනය පසුගිය රජය‍ සමයේදී ශ්‍රී ලංකාවට අහිමි වී ගිය අතර මේ හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ අපනයන භාණ්ඩ විදේශ වෙළඳපොළට යැවීමේදී බදු මුදලක් ගෙවීමට සිදුවිය.