ගෝඨාභය අමෙරිකන් පුරවැසිභාවය අත්හරියි?

ගෝඨාභය අමෙරිකන් පුරවැසිභාවය අත්හරියි?

July 5, 2015   07:30 pm

තමා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින බවට පැතිරි යන ප්‍රචාර සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එසේම රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම ඉදිරි මැතිවරණයට තරඟ කිරීම හේතුවෙන් තමා මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවත්, ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අත්‍යවශ්‍ය නොවන බවත්, ඒ මහතා සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් ඉදිරියටත් රට ජාතිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සුදානම් බවද ඒ මහතා අද දෙරණ සමඟ කියා සිටියේය.

ඉදිරි මහ මැතිවරණයට තරඟ නොවදින්නේ අමෙරිකානු පුරවැසිභාවයක් ලබා සිටීම හේතුවෙන් ද?  යන්න අද දෙරණ ‍ඒ මහතාගෙන් විමසු අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ එවන් බාධාවක් නොමැති බවත්,  අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම  සඳහා වු අවශ්‍ය ලියකියවිලි දැනටමත් තානාපති කාර්යාලයට බාරදී ඇති බවත්ය.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත්, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා මහ මැතිවරණයට තරඟ නොකරණු ඇති බවත් වාර්තා පළවෙයි.