දේශපාලන පක්ෂ කිහිපයක නම් සහ ලකුණු වෙනස්වෙයි

දේශපාලන පක්ෂ කිහිපයක නම් සහ ලකුණු වෙනස්වෙයි

July 5, 2015   06:35 pm

 දේශපාලන පක්ෂ කිහිපයක නාමයන් සහ ලකුණු වෙනස් කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු  වෙනස් කිරීමට අවශ්‍ය නම් ජුලි මස 4 වන දිනට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.

පක්ෂ කිහිපයකින් ඉදිරිපත් වී තිබු ඉල්ලීම්වලට අනුව ඒවායේ නාමයන් සහ ලකුණු වෙනස් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කර සිටියේය.

ඒ අනුව ජාතික හෙළ උරුමයේ නාමය එක්සත් යහපාලන ජාතික පෙරමුණ ලෙස සංශෝධනය කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසුවේය.

හක්ගෙඩිය වෙනුවට දියමන්තිය ඔවුන් නව පක්ෂය සඳහා තෝරාගෙන ඇති බව  වාර්තා වෙයි.

 ඊට අමතරව අකිල ඉලංකෙයි ද්‍රවිඩ මහා සභා පක්ෂය දොඩම් ගෙඩිය ලකුණ වෙනුවට නැව ලකුණ ලබාගෙන ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එක්සත් මහජන පක්ෂය ද සිය පක්ෂයේ මාළුවා ලකුණ වෙනුවට ජංගම දුරකථනය ඇතුළත් කර ඇති බවද සඳහන්ය.

ශ්‍රී ලංකා ජාතික පෙරමුණ පක්ෂයේ නම අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස වෙනස් කර ඇති අතර ක්‍රිකට් පිත්ත වු එහි ලකුණ මල්පොහොට්ටුව ලෙස සංශෝධනය කර ඇති බව  මැතිවරණ මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.