පාර හදලා දෙන්න...

පාර හදලා දෙන්න...

October 17, 2017  

Bookmark and Share
වැලිකන්ද - මහියංගනය ප‍්‍රධාන මාර්ගයේ - ගිනිදමන - නෙළුම්වැව දක්වා දිවෙන මාර්ගය පිලිසකර කරදෙන ලෙස ඉල්ලමින් ගම්මාන පහක ජනතාව ඊයේ දිනයේ සෙවනපිටිය නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරත විය.

වසර තිහකට අධික කලක් දැඩි ලෙස අබලන්ව පවතින වැලිකන්ද - ගිනිදමන - නෙළුම්වැව ප‍්‍රධාන මාර්ගය ඉදිකිරීමට මීට වසරකට පමණ ඉහත දී මුල්ගල් තැබුවද එය මෙතෙක් ඉටු නොකිරීම නිසා ඊට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය.

ගිනිදමන - අලූත්වැව- නෙළුම්වැව - ගල්තලාව - රිදිපොකුණ යන ගම්මාන හරහා වැටී ඇති මෙම මාර්ගය අලූත්වැඩියා කිරීම සඳහා ඉකුත් වසරේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මිනුම් කටයුතු කර වැඩ ආරම්භ කළද එය මෙතෙක් ඉටු නොවීම නිසා පවුල් 2000 ක සාමාජිකයන් 5000 ට වැඩි ප‍්‍රමාණයක් මහත් පීඩාවට පත්ව ඇති බවට උද්ඝෝෂකයින් පැවසූහ.

මෙම මාර්ගය අබලන්වීම හේතුවෙන් පොළොන්නරුව සහ මහියංගන ඩිපෝවවලට අයත් බස් රථ කිහිපයක් අබලන් මාර්ගය හරහා ගමන් නොකිරීම නිසා තම පාසල් දරුවන්ට මෙන්ම තමන්ටද අමතර මුදලක් වැය කර ත‍්‍රීරෝද රථ වලින් ගමන් පහසුකම් සපයා ගැනීමට සිදුව ඇති බවද ප‍්‍රදේශවාසින් පවසයි.

ගම්වාසීන් පැය හතරකට පමන අධික කාලයක් සෙවනපිටිය නගර මධ්‍යයේ විරෝධතාවයේ නියෙළෙමින් පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා කාපට් මාර්ග ඉදි කෙරුවද විශාල ගොවි ජනතාවක් සිටින තම ප‍්‍රදේශයට පිවිසෙන් මාර්ගය අලූත් වැඩියා නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

මෙම උද්ඝෝෂණ අවස්ථාවට වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සාමය හා මහජන ආරක්ෂාව සැලසීමටද කටයුතු කර තිබුණි.

උද්ඝෝෂණය පැවති අවස්ථාවට විසඳුම් ලබාදීම සඳහා කිසිඳු බලධාරියෙකු සම්බන්ධ නොවීම නිසා උද්ඝෝෂකයින් විසිර ගියහ.

මෙම විරෝධතාවය සඳහා ගම්වාසින් 200 කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.

මෙම මාර්ගය සංවර්ධනය නොවීම සම්බන්ධයෙන් උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේ. සිරිනිවාසන් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසිමකදී පැවසුවේ එම මාර්ගයේ සංවර්ධන කටයුතු 2018 ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සියලූ කටයුතු සැළසුම් කර ඇති බවයි.

ඡායාරූ-මනම්පිටිය ප‍්‍රසාත් සමන්