චක්‍රලේඛයට මුවාවී උසස්පෙළ කරන්න 10,000 සිට 15,000 ගන්නවා

චක්‍රලේඛයට මුවාවී උසස්පෙළ කරන්න 10,000 සිට 15,000 ගන්නවා

May 29, 2015   06:02 pm




උසස්පෙළ හැදෑරීම සඳහා ළමුන්ගෙන් රුපියල් 10,000 සිට 15,000 දක්වා මුදලක් ප්‍රධාන පෙළේ පාසල් වල අය කරන බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.


එහි ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්    මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ උසස් පෙළට ඇතුළත් වන සිසුන්ගෙන් 5/2015 චක‍්‍රලේඛය දඩමීමා කර ගනිමින් මෙලෙස මුදල් අය කරන බවයි.


ඔහු විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත පරිදිය.



උසස් පෙළට ඇතුළත් වන සිසුන්ගෙන් 5/2015 චක‍්‍රලේඛය දඩමීමා කර ගනිමින් මුදල් එකතු කෙරේ
 
පාසල්වල විවිධාකාරයෙන් මුදල් එකතු කිරීමේ කටයුතු පසුගිය කාලය පුරා නිරන්තරයෙන් ම සිදු විය. පාසල්වල මුදල් එකතු කිරීම තහනම් කරමින් 5/2015 අංකයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කරන ලදී. පසුව අධ්‍යාපන ලේකම්වරයා ප‍්‍රකාශ කරන ලද්දේ මෙම චක‍්‍රලේඛය මඟින් සිදුකර ඇත්තේ පාසල්වල අයථා ලෙස මුදල් එකතු කිරීම විධිමත් කිරීම බවයි. මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට පාසල්වල මුදල් එකතු කිරීමේ කටයුතුවලට තවදුරටත් ඉඩ සලසා ඇති බවයි.

මේ වන විට මෙම තත්ත්වය උපයෝගී කර ගනිමින් පාසල්වල උසස් පෙළ සඳහා එම පාසලේ ම සිසුන්ගෙන් හා වෙනත් පාසල්වලින් පැමිණෙන සිසුන්ගෙන් අති විශාල ප‍්‍රමාණයෙන් මුදල් එකතු කරමින් තිබේ. විශේෂයෙන් ප‍්‍රධාන පෙළේ පාසල්වල එම මුදල රු.10,000 සිට රු.15,000 පමණ දක්වා වේ.  මෙවැනි නීත්‍යානුකූල නොවන ලෙස මුදල් එකතු කිරීම නීතිගත කිරීම තුළ දෙමාපියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇත. අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන ලෙස පසුගිය කාලය පුරා අරගල පැවති අතර වර්තමාන රජය නිදහස් අධ්‍යාපනය තහවුරු කරන බව ප‍්‍රකාශ කරමින් මුදල් එකතු කිරීම් නීත්‍යානුකූල කිරීම තුළ අධ්‍යාපන පද්ධතිය බරපතළ ව්‍යාකූලත්වයකට පත්ව ඇත.
 
මෙයට,
       
ජෝසප් ස්ටාලින්       
ප‍්‍රධාන ලේකම්