මෛත්‍රී හමුවූ සන්ධාන නායකයින් අද මහින්ද හමුවෙයි

මෛත්‍රී හමුවූ සන්ධාන නායකයින් අද මහින්ද හමුවෙයි

May 28, 2015   09:59 am




ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සන්ධානයේ සියලු පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහා සඳහන් කළේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

ඉදිරියේදී පැවැතිවීමට  නියමිත මහමැතිවරණයට සන්ධානගතව තරඟ කළ යුතු බවට මෙහිදී යෝජනා වී තිබේ.

 එම සන්ධානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහයෝගය ලබා ගත යුතු බව සන්ධානයේ පක්ෂ නායකයින් පෙන්වා දී ඇත.

ඊට අමතරව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ වල සහයෝගය ලබාදීමටද එකඟතාවය පළ වී තිබේ.

මෙහිදී සන්ධානයේ පක්ෂ වල නායකයින් විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු කර ඇත.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ වල නායකයින් අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡා වලදී එකඟතාවට පැමිණි කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.