නයිජිරියාවේදී පැහැරගත් ලාංකිකයා නිදහස් කරයි

නයිජිරියාවේදී පැහැරගත් ලාංකිකයා නිදහස් කරයි

May 28, 2015   09:22 am

නයිජීරියාවේදී පසුගියදා පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයා මුදාහැර තිබේ.

නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් මේ පිළිබඳව අදාළ ලාංකිකයාගේ ඥාතීන්ට දැනුම්දී ඇත.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ අදාළ ලාංකිකයා නිදහස් කර ඇති බව වාර්තා වූ බවයි.

ඔහු මුදා හැරීම සඳහා කප්පමක් වශයෙන් මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වුවද ඒ ගැන මෙතෙක් තොරතුරු ලැබී නැති බව ඒ මහතා පැවසීය.

එම ලාංකිකයා මුදාහැරීම සඳහා පැහැරගත්තවුන් විසින් විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනාගෙන තිබූ පරිදි මෙම ශ්‍රී ලාංකිකයා, ඉතාලියානු ඉදිකිරීම් සමාගමක සේවය කරනු ලැබූ ඩී.ඒ කරුණාදාස නැමැත්තෙකි.

වසර 10 ට වැඩි කාලයක් තිස්සේ නයිජීරියාවේ ජීවත්ව ඇති මොහු පසුගියදා එහි ඔන්ඩෝ සහ කෝගි ප්‍රාන්ත සීමාවේදී පැහැරගැනීමට ලක්ව තිබිණ.

මෙම ශ්‍රී ලාංකිකයාගේ රියදුරු ලෙස සේවය කළ බ්‍රිට්‍රස් ඩැඩා නමැති තැනැත්තා ද පැහැර ගැනීම සිදුවූ අවස්ථ‍ාවේ කප්පම්කරුවන්ගේ ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර තිබුණි.

කප්පම්කරුවන් ශ්‍රී ලාංකිකයාගේ පවුලේ උදවියට දුරකථන ඇමතුමක් ලබාදී විශාල මුදලක් කප්පම් ලෙස ඉල්ලා තිබූ අතර එම මුදල කොපමණක්දැයි අනාවරණය නොවූ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කළේය.