බැසිල්ගේ පෙත්සම සලකා බැලීම ජූනි මුල්සතියේ

බැසිල්ගේ පෙත්සම සලකා බැලීම ජූනි මුල්සතියේ

May 27, 2015   06:39 pm




හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුනි මස 4 සහ 5 යන දිනවල සිදුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා බැසිල් රාජපක්ෂ මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

අගවිනිසුරු කේ.ශ්‍රීපවන්, ප්‍රියසාද් ඩෙප් සහ රෝහිණි මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල අද එම පෙත්සම සලකා බැලූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පිහිටුවා ඇති බවයි.

අමාත්‍ය මණ්ඩලයට එවැනි බලයක් නීතියෙන් නොමැති බව පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා ඒ තුළින් එම කොට්ඨාසයට දේශපාලන මුහුණුවරක් ලැබී ඇති බව පවසා තිබේ.

 ඒ අනුව එහි විමර්ශන පක්ෂග්‍රාහී බවත්, බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම දේශපාලන අරමුණකින් සිදුව ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

 




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.