ගිනි නිවන හමුදාවට වඩා ඉක්මනට කරන්න ලෑස්තියි

ගිනි නිවන හමුදාවට වඩා ඉක්මනට කරන්න ලෑස්තියි

May 27, 2015   03:40 pm




පාර්ලිමේන්තුව විසුරුවා අවම දින 52ක් හා උපරිමය 66ක් අතර මහමැතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


කෙසේ වුවද මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉඟියක් තමන් වෙත මෙතෙක් දැනගන්නට ලැබී නැතැයි ඒ මහතා කියයි.


එසේ වුවද ගිනි නිවන හමුදාවට වඩා ඉක්මනට එය කරන්න සුදානමින් සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා අද මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.


තමන්ට දැනට ස්ථීරවම ප්‍රකාශ කළ හැක්කේ ඡන්ද ප්‍රකාශ කිරීම උදේ 7ට ආරම්භ කර සවස 4ට අවසන්  කරනවා කියා පමණක් බවද පාර්ලිමේන්තු මැතිවරණය කවදා පවත්වන්නේදැයි ප්‍රශ්නයට තමන්ට වෙනත් දිය හැකි පිළිතුරක් නැති බවද එහිදී ඔහු සඳහන් කළේය.


ස්වාධීන කොමිෂන් සභා පත් කිරී‍මත් සමග තමන්ගේ තනතුර සම්බන්ධයෙන් කුමක්වේදැයි නොදන්නා බවද මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඒ මහතා පැවසුවේය.


කොමිසම පත්වන තුරු පනතේ හැටියට රාජකාරීයේ ඉන්න කෙනාට එම තනතුරේ වැඩ කළ හැකි බවද ඒ මහතා කීවේය.


මෙරට ඇති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සංඛ්‍යාව සැලකීමේදී ලංකාව මාධ්‍ය නිසා ගොඩක් දියුණු බවද මේ නිසා ජනතාවට පණිවිඩ ලබාදීමේ හැකියාව පහසු බවද හෙතෙම පැවසීය.


එක් එක් රටවල් මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැහැදිළි කළේය.


ඇතැම් රටවල් අපේක්ෂකයාගේ පාට අනූව එක් එක් පාටින් ජිල් බෝල තබා ඇති බවත්, ඡන්ද දායකයා කළ යුත්තේ තමන් කැමති පාට අනූව පෙට්ටියට ජිල් බෝලයක් දැමීම බවත්, ඔහු පැවසුවේය.


ඇතැම් රටවල අතින් ලිවීමට බැරි අය සඳහා ඇණයක් තබා ඇති බවත්, එම ඇණෙන් ඡන්ද පත්‍රිකාව හිල් කිරීමෙන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩදී ඇති බවත්, මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේය.


එසේම දියුණු රටවල  ඇඟිලි සලකුණු තබා ඡන්දය ප්‍රකාශ කරන බවද ඔහු පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාවේ පෑනයි පැන්සලයි දෙකම තබා ඇති බවත්, කළ යුත්තේ කතිරය ගැසීම පමණක් බවත්, හෙතෙම පැවසීය.



මේ අතර 2015 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබාදී ඇති ඉල්ලුම්පත්‍ර පුරවා ලබන ජූනි මස 01 වැනිදාට එම නිලධාරිවරයාට ලබාදීමට පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.


මේ අතර විල්පත්තුවේ පදිංචි කළ අයට සාමාන්‍ය පරිදි පදිංචිය තහවුරු කළ හැකි නම් 2015 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනයට අදාළව ඉල්ලුම් කළ හැකි බව ද ඒ මහතා පැවසීය.