කසිප්පු  තිප්පොළක්..!

කසිප්පු තිප්පොළක්..!

August 11, 2017  

Bookmark and Share
ආරච්චිකට්ටුව -ආනවිළුන්දාව රක්ෂිතයට යාබද මුතුපන්තිය දූපතේ වන දොරක් තුළ පවත්වා ගෙන ගිය කසිප්පු පෙරුම් පොළක් වැටලීමට මුන්දලම පොලීසියේ නිලධාරීන් සමත් වී ඇත.

10 වැනිදා සවස මෙම වැටලීම සිදු කර තිබුණි.

වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි ප්‍රධාන ජාවාරම්කරුවා පළා ගොස් ඇතත් ඔහු කවුරුන්ද යන්න හෙලි කරගෙන ඇති බව වැටලීම කළ නිලධාරීන් පවසයි.

එම කසිප්පු පෙරුම් පොලේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 280 ක්,කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 34560 ක් අඩංගු බැරල් 16 ක්,තඹ දගර 04 ක්,ගෑස් සිලින්ඩර 05 ක්,ලිප් 02 ක්,යීස්ට් පැකට් 08 ක්,සීනි කිලෝ ග්‍රෑම් 150 ක් සහ යතුරු පැදියක්,ජංගම දුරකථන 02 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.‍

මෙම යතුරු පැදිය සහ ජංගම දුරකථන පලා ගොස් ඇති කසිප්පු ජාවාරම්කරුවාට අයත් බවට සැකකරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් කියයි.

මෙම කසිප්පු ජාවාරම්කරවා අත්අඩංගුවට ගැනීම සඳහා මුන්දලම පොලීසියේ නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ඡායාරූ-පුත්තලම - ජුඩ් සමන්ත.