ඉඩම් මාෆියාවක තොරතුරු හෙළිවෙයි - මහ මොළකරු දැලේ

ඉඩම් මාෆියාවක තොරතුරු හෙළිවෙයි - මහ මොළකරු දැලේ

April 17, 2015   02:23 pm

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණ වී  තිබේ.

සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙම ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු පසුගිය දා මාලබේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව  පොලීසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඉඩම් සඳහා තවත් පිරිසක් සමඟ එක්ව ව්‍යාජ ඔප්පු සහ ලේඛන සකස් කර ඒවා විකිණීමේ ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මොවුන් විසින් මෝටර් රථ සඳහා ව්‍යාජ ලේඛන සකස් කර ලීසිං සමාගම් වලින් ලීසිං පහසුකම් ලබාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියේ ප්‍රධාන සැකකරු වන විදුර සමල් ගුණරත්න නැමැති නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි පුද්ගලයා ඇසුරු කළ පිරිස් සහ නවාතැන් ගෙන සිටි ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ 011 2 328 043 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පොලීසිය විසින් ඉල්ලීමක් කරයි.