එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණෙයි

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් ලංකාවට පැමිණෙයි

March 29, 2015   11:14 am

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිතයෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

යුක්තිය, සාධාරණත්වය, ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් මහතා මෙලෙස දිවයින පැමිණීමට නියමිත බව  විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

දින 6ක සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණෙන බව සඳහන්ය.

 සංචාරය තුළ දී පැබ්ලෝ ඩි ග්‍රීෆ් මහතා රජයේ ඉහළපෙළේ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන සාමාජිකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජය විසින් රට තුළ ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංන්ධාන ක්‍රියාවලිය පිළිබඳ සොයාබැලීම එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතවරයාගේ අරමුණ වී ඇති බව සඳහන්ය.

යුක්තිය, සාධාරණත්වය, ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් මහතාට මෙරට සංචාරයක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරාධනයක් ද සිදුකර තිබුණි.

 මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේන් මහතා ලබන ජුනි මාසයේ මෙරට සංචාරයක නිරත වනු ඇති බවට ද විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය.