සැරයන්ගේ යතුරු පැදියට ගිනි තියලා
March 28, 2015 11:10 pm
හලාවත පොලිස් කොට්ඨාසයේ නොවිසුඳුණු අපරාධ විමර්ශන අංශයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකුට අයත් යතුරු පැදියක් කිසියම් අයෙකු විසින් ගිනි තබා විනාශ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
අද (28) අළුයම 2.15 ට පමණ මෙම ගිනි තැබීම සිදුවී ඇත.
ගිනි තබා විනාශ කර ඇති යතුරු පැදිය පොලිස් සැරයන්වරයාට අයත් නාත්තන්ඩිය - කුලියාපිටිය මාර්ගයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට ගාල් කර තිබී ඇති බව පොලීසිය කියයි.
තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට කිසියම් අයෙකු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් සැරයන් 21837 ආර්.එම්.ගුණරත්න යන අය මාරවිල පොලීසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
ගිනි ගෙන විනාශ වී ඇති යතුරු පැදිය රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා බවද පැමිණිල්ලේ සඳහන්ය.
කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ගිනි තැබීම සිදු කලාද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය කියයි.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.