සංගීත උපාධිධාරීන්ගේ පෙත්සමක් විසිවෙයි

සංගීත උපාධිධාරීන්ගේ පෙත්සමක් විසිවෙයි

March 27, 2015   04:36 pm



රජයේ පාසල්වලට බටහිර සංගීත ගුරුවරුන් බඳවා ගැනීමේ දී උපාධිධාරීන්ට අසාධාරණයක් සිදුවන බවට සඳහන් කරමින් ඉදිරිපත් වූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සංගීත විෂය හදාරන ලද උපාධිධාරීන් පිරිසක් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ රජයේ පාසල් සඳහා බටහිර සංගීත ගුරුවරුන් බඳවා ගැනීමේ දී උසස් පෙළ සමතුන් සහ උපාධිධාරීන් සම තත්ත්වයෙන් සලකා කටයුතු කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

මේ තුළින් උපාධිධාරීන්ට අසාධාරණයක් සිදුවන බව  පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින ලදී.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ගුරුවරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නියම කිරීමේ බලය රජය වෙත පැවරී ඇති බවයි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් වන එය අධිකරණය හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ  බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.