පළාත් පාලන ඡන්දය කල් යන ලකුණු

පළාත් පාලන ඡන්දය කල් යන ලකුණු

March 27, 2015   09:21 am



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සීමා නිර්ණය කිරීමට අදාළ කටයුතු මේවන තෙක් අවසන්ව නොමැති බව වාර්තා වේ.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තවදුරටත් කල් යා හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව විසින් අදාළ සීමා නිර්ණය කිරීමේ කටයුතු සිදුකරන අතර මේ වන තෙක් එහි අවසන් වාර්තාව සකස් කර නැත.

කෙසේ වෙතත් මාර්තු මාසයෙන් පසුව පළාත් පාලන ආයතන වල  කාලය අවසන් වීමට නියමිතය.

ඒ අනුව එම ධුර කාලය රජය විසින් තවදුරටත් දිර්ඝ කරනු ඇති බව වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය සඳහන් කළේ හැකි ඉක්මනින් සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කර පළාත් පාලන මැතිවරණ කටයුතු පැවැත්විය යුතු බවයි.

මේ අතර ඊයේ අග්‍රාමාත්‍යවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී ද මාධ්‍යවේදීන් පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද විමසා තිබේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා චීන සංචාරය අවසන් කර පැමිණි විගස ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.