තම පූර්ණ සහය දෙන බව චීන අගමැති ජනපති මෛත්‍රීට කියයි

තම පූර්ණ සහය දෙන බව චීන අගමැති ජනපති මෛත්‍රීට කියයි

March 27, 2015   08:57 am



ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන වැඩපිළිවෙළට තම පුර්ණ සහය ලබාදෙන බව චින අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් පවසයි.

චීනය කටයුතු කරන්නේ පුද්ගලයින් මත පදනම්ව නොව රටට වැදගත් නිවැරදි ප්‍රතිපත්ති සහ සැලසුම් මත බව ද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර කරයි.

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී චීන අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට චින රජය සේම නව ආයෝජකයන්ගේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා චීනය සමඟ සබඳතා වර්ධනය කරගනිමින් සැලසුම් සහගතව කටයුතු කිරීමට තම රජය සුදානම් බවද ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


යුරෝපා සංගමය මෙන්ම ආසියානු කලාපයද ආර්ථික, දේශපාලන හා සමාජීය වශයෙන් ශක්තිමත් විය යුතු බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආසියානු කලාපය තුළ සංවර්ධන සැලැස්මක් ඇති කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

දුගීභාවය තුරන් කිරීමට ආසියානු කලාපයේ සියලු රටවල් එක්ව වැඩ කිරීමේ වැදගත්කම පිළිබඳව දෙරටේ නායකයන් මෙහිදී සාකච්ඡාවට ලක්කර ඇති බව සඳහන්ය.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතාට මෙරට සංචාරයක් සඳහා ද ආරාධනාවක් සිදුකර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමඟ සබඳතා පැවැත්වීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව චීන මහජන ජාතික කොන්ග්‍රසයේ විධායක කමිටු සභාපති බෙජී යෑන්ග් මහතා  පවසයි.

 
චීන මහජන ජාතික කොන්ග්‍රසයේ විධායක කමිටු සභාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා ඊයේ පස්වරුවේ චීනයේ බීජිං නුවරදී පැවැත්වුණි.

මෙහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යාමේ වැදගත්කම සාකච්ඡාවට ලක්ව ඇත.

එමෙන්ම දෙරටේ ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීනයේ දියුණුව පිළිබඳව ලෝකයම බලා සිටින බවත් ඒ දියුණුවට ශ්‍රී ලංකාව සුභ පතන බවත්ය.

 චීනයේ දේශපාලන ක්‍රමය ගැන ඉගෙන ගැනීම ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම වැදගත් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.