ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ලංකාව ගැන ‍මුකුත් නොකියයි

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් ලංකාව ගැන ‍මුකුත් නොකියයි

March 3, 2015   08:44 am



විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් හමුවී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වී සිටින මංගල සමරවීර මහතා ඊයේ දිනයේ  මහකොමසාරිස්වරයා හමුවී  ඇති බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ට්විටර් වෙබ් අඩවිය සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ 28 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඊයේ ජීනිවා නුවර දී ආරම්භ වුණි.

සැසිවාරය ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ මානව හිමිකම් සුරැකීම සඳහා ජාතික හිමිකම් ප්‍රමීතීන්ට අනුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සාකච්ඡා වෙමින් පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම  ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පසුගිය රජය  අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍යවරයා රට තුළ මානව හිමිකම් සුරැකීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට නව රජය අවධානය යොමුකර ඇති බව සඳහන් කළේය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා බවද මංගල සමරවීර මහතා මෙහිදී පැවසුවේය.

 එමෙන්ම 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ස්වාධින ආයතන රට තුළ ස්ථාපිත කිරීම කෙරෙහි  නව රජයේ අවධානය යොමුවී ඇති බව මංගල සමරවීර අමාත්‍යවරයා කීවේය.

 මෙවර මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන ලෙස කළ ඉල්ලීම සලකා බැලීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාට මෙහිදී මංගල සමරවීර මහතා සිය ස්තූතිය ද පළ කර සිටියේය.

මේ අතර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව  සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද ඊයේ අදහස් පළ කළේය.

ඊට අමතරව ජපානය ද මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
 
කෙසේවෙතත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් සිය  කතාවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකිරීම ද විශේෂත්වයකි.