සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

March 2, 2015   04:02 pm

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

පක්ෂ  මධ්‍යම කාරක සභාව ඊයේ(01)  වව්නියාවේදී රැස්වු අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ආර්.සම්බන්ධන් සහ එම්.සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපහා‍ස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරිම, එම්.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ රුව සහිත පඹයකුට ගිනි තැබීම ආදී කරුණු හේතුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්විය යුතු බවට තීරණය වී තිබේ.

එමෙන්ම ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය වත්මන් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළයුතු බවට වන යෝජනාවක්  සම්මත කර ගැනීමට ද එහිදි තීරණය කළ බව  පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා සඳහන් කළේය.

පක්ෂයේ සමගියට බාධාවන අයුරින් හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනිමට ද ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.