සන්ධාන මන්ත්‍රී ගැන පරීක්ෂණ අඛණ්ඩයි-කිසිදු බලපෑමක් නෑ

සන්ධාන මන්ත්‍රී ගැන පරීක්ෂණ අඛණ්ඩයි-කිසිදු බලපෑමක් නෑ

March 2, 2015   03:46 pm


වෙලේ සුදාගේ ප්‍රකාශ මත මත්කුඩු ජාවාරමට අදාළව සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

වෙලේ සුදාගේ ප්‍රකාශ අනුව ප්‍රශ්න කරනු ලැබූ කොළඹ දිස්ත්‍රක්කයේ එජනිස මන්ත්‍රීවරයා පිළිබඳවද පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බවත්, ඒ සඳහා බලපෑම් එල්ලවන බවට නැඟෙන චෝදනා අසත්‍ය බවත් ඔහු කියා සිටියේ අද(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.


මේවන විට මන්ත්‍රීවරයාට අදාළව එකසිය හැට ගණනික් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්,මෙම මත්කුඩු ජාවාරමට අදාළව චෝදනා එල්ලවන හිටපු නි.පොලිස්පතිවරයා ගැනත් මේ අයුරින්ම පරීක්ෂණ සිදුකෙරෙන බවත්,පරීක්ෂණ කටයුතු වලට බාධාවක් වන බැවින් ඇතැම් කරුණු මේ මොහොතේ ප්‍රසිද්ධියට පත් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පරීක්ෂණවල මූලිකත්වය ලබාදී ඇත්තේ මන්ත්‍රීවරයාට බවත්, නි.පොලිස්පතිවරයා ගැන පරීක්ෂණ පසුවට විධිමත් කරන බවත් ඔහු කියා සිටියේය.

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක,කපිතාන් ඩී.කේ.පී දසනායක ගේ ප්‍රකාශ සටහන් කරගනු ලැබුවේ 2010 වැනි කාලයක කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවලින් අතුරුදහන් කරනු ලැබූ ළමුන් පිරිසකට අදාළව බව ද අජිත් රෝහණ මහතා මෙහිදී සිහිපත් කළේය.

මෙම ළමුන් අ.පො.ස(උ/පෙ) වයසේ සිසුන් බවත්, හැමෝම පාහේ ධනවත් මව්පියන්ගේ දරුවන් බවත්,ඔවුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් රැගෙන ඇති බවත් රෝහණ මහතා පෙන්වාදුන්නේය.

මෙම ළමුන් පැහැරගැනීම නාවික හමුදාවේ 'විශේෂ මෙහෙයුම් ඒකකය'නම් පිරිසක් විසින් සිදුකර ඇති බවත්, මේ පිළිබඳ මුල්ම ‍තොරතුරු පොලීසියට ලබාදෙනු ලැබුවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

මේවන විට ළමුන් 10 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ හැඳුනුම්පත් හමුවී ඇති බවත්, ඔවුන් ජීවතුන් අතර සිටීද නැද්ද යන්න වග තවමත් නොදාන්නා බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.