ශෂී වීරවංශ අත්අඩංගුවට අරගෙන යෝෂිතට රටයාමට ඉඩදීම වැරදියි

ශෂී වීරවංශ අත්අඩංගුවට අරගෙන යෝෂිතට රටයාමට ඉඩදීම වැරදියි

February 27, 2015   05:24 pm



ජාතික රෝහල තුළ කළ හැකි වෛද්‍ය පරීක්ෂණ එහි ඇතැම් වෛද්‍යවරුන් ‍විසින් රෝගීන්ට පිටින් කරගෙන එන ලෙසට දැනුම්දෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඒ තුළ බිස්නස් එකක් සිදුවන බව පැහැදිලි යැයි ඒ මහතා අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අතුරු අය වැයෙන් වැඩි කළ රජයේ සේවක වැටුප් ඔවුන්ගේ මූලික වැටුපට එක් කරනා ලෙසට බලධාරීන්ට බල කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

එහිදී සමන් රත්නප්‍රිය  මහතා පැවසුවේ රජයේ සේවකයින්ගේ මූලික වැටුපට රුපියල් 5000 දීමනාවක් ලෙස නොදී එය මූලික වැටුපට එක් කරන ලෙසයි.

එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ බවත්, හේතුව ඔවුන්ගේ මූලික වැටුප් තත්ත්වය හා  එය සමානවීම බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.

මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැටුප් සම තත්ත්වයට පත්වීමට අකමැත්තෙන් පසුවන බවත්, මීට එරෙහිවන ලෙසට සෙසු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, ඒ මහතා පැවසීය.

ගත වූ දින 50 තුළදී නව රජය  බදු බර අඩුකර ජනතාවට දැනෙන වෙනසක් කර ඇති බව පිළිගන්නා බවද පැවසූ ඒ මහතා සහල් මිල අඩු නොකරන්නේ ගොවීන්ට සහනයක් ලබාදීමට යැයිද ඒ  මහතා පෙන්වාදුන්නේය.

එසේම චෝදනා ලැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බවත්, ශෂී වීරවංශ අත්අඩංගුවට අරගෙන යෝෂිතට රටයාමට ඉඩදීම වැරදි බවත්, ඔහු මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලෙස කියා සිටියේය.

“මහින්දව බේරලා අනිත් අයට දඬුවම් දෙන්න බෑ සමස්ත ආණ්ඩුවම‍ මේකට වගකියන්න ඕන” යැයි රත්නප්‍රිය මහතා පැවසීය.

දූෂණ වංචා ගැන ඉදිරිපත් වූ පැමිණිලි සම්බන්ධයෙන් චෝදනා ලත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු  ප්‍රමාද වෙන්නේ ගිය ආණ්ඩුවේ නිලධාරීන් තවමත් එම පුටුවල රැඳී සිටීම නිසා බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.